වන අලි ඇතුන්ගේ ජීවිත ආරක්ෂා කිරීමත්, මිනිස් ජීවිත හා දේපළ සුරක්ෂිත කරමින් අලි මිනිස් ගැටුම අවම කිරීමත් අරමුණු කරගත් ‘හස්ති සේනා’ ජාතික මෙහෙයුම යටතේ තිරප්පනය ප්‍රදේශයේ අද (14) ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුම පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳිගේ සහ පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩිගේ නිරීක්ෂණයට ලක් වුණා.
ගල්කුලම, ගැටමාලාකන්ද, මුරියාකඩවල, පෙරියමියන්කුලම, කිරින්දේගම, නිරාවිය, තලගුලු විහාරය, නබඩවැව, වන්නන්කුලම, ඔරුක්කන්කුලම සහ කුට්ටිමඩුව ඇතුළු ප්‍රදේශ රැසක් ආවරණය කරමින් මෙම විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක කෙරුණා.
පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි සහ පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මෙහිදී මෙහෙයුමේ ප්‍රගතිය සහ එය ක්‍රියාත්මක වන ආකාරය සියැසින් නිරීක්ෂණය කරනු ලැබුවා.
එම අවස්ථාවට එක්වෙමින් පරිසර අමාත්‍යවරයා සඳහන් කළේ, අලිමිනිස් ගැටුමට තිරසාර විසඳුමක් ලබාදීමටත්, වන අලි සම්පත මෙන්ම ග්‍රාමීය ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමටත් රජය ප්‍රමුඛත්වය ලබාදී කටයුතු කරන බවයි.
ඒ සඳහා ආරක්ෂක අංශ සහ වනජීවී නිලධාරීන්ගේ ඒකාබද්ධ දායකත්වය අතිශය වැදගත් වන බව ද අමාත්‍යවරයා අවධාරණය කළා.
පරිසර අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ, 212 වන පාබල බලසේනාව යටතේ පවතින 7 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ ප්‍රධාන දායකත්වයෙන් මෙම මෙහෙයුම ක්‍රියාත්මක වුණා.
21 වන සේනාංකයේ සේනාංකාධීපති මේජර් ජෙනරල් කමින්ද සිල්වාගේ, 212 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සුරංග බස්නායකගේ අධීක්ෂණය යටතේ, 7 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ප්‍රභාත් අබේවික්රමගේ මෙහෙයවීමෙන් සහ බලඝණාධිපති මේජර් දිමුතු මුල්ලේවිදානගේ සහභාගීත්වයෙන් මෙම මෙහෙයුම සංවිධානය කර තිබුණා.
මෙම විශේෂ මෙහෙයුම සඳහා යුද හමුදා නිලධාරීන් 07 දෙනෙකු සහ සෙසු නිලයන් 68 දෙනෙකු ඇතුළුව 75 දෙනෙකුගෙන් සමන්විත යුද හමුදා කණ්ඩායමක් එක්ව සිටියා.
