අන්තර්ජාලය ඔස්සේ සිදුකරන මූල්ය වංචා හේතුවෙන් පාකිස්තානයට එරට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2.5කට සමාන ආර්ථික පාඩුවක් සිදුවන බව නව වාර්තාවක් අනාවරණය කරනවා.
මෙම වාර්තාවට අනුව, සයිබර් තාක්ෂණය යොදාගනිමින් සිදුකරන මූල්ය වංචාවලින් වැඩිම පාඩු වාර්තා වන්නේ ආසියාවෙන් වන අතර, එම ලැයිස්තුවේ පළමු ස්ථානයේ පසුවන්නේ පාකිස්තානයයි.
මැලේසියාවට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2.1ක පාඩුවක් ද, ඉන්දියාවට සියයට 1.3ක පාඩුවක් ද සිදුවන බව වාර්තාවේ සඳහන්.
තායිලන්ත බැංකුව සහ පූයි උන්ග්ෆකෝන් ආර්ථික පර්යේෂණ ආයතනයට සම්බන්ධ පර්යේෂකයන් විසින් සකස් කළ මෙම අධ්යයනය, හොංකොං, මැලේසියාව, සිංගප්පූරුව සහ තායිලන්තය මූල්ය වංචා වැළැක්වීම සඳහා ගෙන ඇති ක්රියාමාර්ග පිළිබඳ අත්දැකීම් ද විශ්ලේෂණය කර තිබෙනවා.
එහිදී රාජ්ය හා මූල්ය ආයතන අතර තොරතුරු හුවමාරුව ශක්තිමත් කිරීම, වංචා හඳුනාගත් වහාම ක්රියාත්මක වීම සහ පාරිභෝගික ආරක්ෂාව ඉහළ නැංවීම ප්රධාන විසඳුම් ලෙස පෙන්වා දී තිබෙනවා.
මූල්ය වංචා මේ වනවිට බැංකු ගිණුම්වලට අනවසරයෙන් ඇතුළුවීමේ ක්රියාවලියෙන් ඔබ්බට ගොස් ඇති බව ද වාර්තාව අනතුරු අඟවයි. වංචාකරුවන් ව්යාජ අනන්යතා භාවිත කිරීම, රැවටීම් සහ සමාජ ඉංජිනේරු උපක්රම මගින් ගනුදෙනුකරුවන් පොළඹවා ඔවුන් ලවාම මුදල් හුවමාරු අනුමත කරවා ගැනීමට වැඩි වශයෙන් කටයුතු කරනවා.
කෘත්රිම බුද්ධිය, ඩීප්ෆේක් තාක්ෂණය සහ ස්වයංක්රීය වංචා සේවා භාවිතය හේතුවෙන් සංකීර්ණ මූල්ය වංචා සිදුකිරීම වඩාත් පහසු වී ඇති බව ද එහි සඳහන් වේ. එමෙන්ම ක්ෂණික ඩිජිටල් ගෙවීම් පද්ධති හරහා සොරකම් කරන ලද මුදල් ගිණුම් කිහිපයක් ඔස්සේ සහ විවිධ රටවල් අතර ඉතා වේගයෙන් මාරු කිරීමට වංචාකරුවන්ට හැකියාව ලැබී තිබෙනවා.
ඩිජිටල් මූල්ය සේවා මගින් ජනතාවට වැඩි ප්රවේශයක්, නවෝත්පාදන සහ කාර්යක්ෂමතාවක් හිමිවුවද, ඒ සමඟම මූල්ය වංචා වඩාත් වේගයෙන්, පුළුල් පරිමාණයකින් සහ සංකීර්ණ ආකාරයෙන් සිදුකිරීමට ද අවස්ථා නිර්මාණය වී ඇති බව වාර්තාව පෙන්වා දෙනවා.
සයිබර් මූල්ය වංචා ජාත්යන්තර සංවිධානාත්මක අපරාධ ජාල සමඟ ද සම්බන්ධ වී තිබේ. ජාත්යන්තර පොලිසිය හෙවත් ඉන්ටර්පෝල් සංවිධානය, මත්ද්රව්ය ජාවාරම සහ මුදල් විශුද්ධිකරණය සමඟ ගෝලීය වශයෙන් බරපතළ තර්ජනයක් වන අපරාධ අතරට ද එය ඇතුළත් කර තිබෙනවා.
මෙම කරුණු ඇතුළත් වන්නේ ජාත්යන්තර මූල්ය අරමුදල සහ ලෝක බැංකු සමූහය විසින් නිකුත් කළ “බැංකොක් බ්ලූප්රින්ට් ඉන් ඇක්ෂන්” නම් රාමුවට අදාළ අධ්යයනයකිනි.
තායිලන්ත බැංකුව සමඟ සම්බන්ධීකරණයෙන් සකස් කළ මෙම රාමුවේ අරමුණ වන්නේ ඩිජිටල් මූල්ය සේවා තුළ ඉහළ යන සයිබර් වංචා තර්ජනය වැළැක්වීමට, හඳුනාගැනීමට සහ ඒවාට ප්රතිචාර දැක්වීමට රටවලට සහාය වීමයි.
ගෝලීය වශයෙන් මූල්ය වංචාවලින් සිදුවන ආර්ථික පාඩුව දළ දේශීය නිෂ්පාදිතයෙන් සාමාන්යයෙන් සියයට 0.45ක් පමණ වන අතර, පාකිස්තානයේ ඇස්තමේන්තුගත පාඩුව එම අගයට වඩා සැලකිය යුතු ලෙස ඉහළ යාම එරට ඩිජිටල් ආර්ථිකය මුහුණ දී ඇති අභියෝගයේ බරපතළකම පෙන්නුම් කරනවා.










