අභ්‍යවකාශ කලාපයේ එල්ල වන ඕනෑම තර්ජනයකට එරෙහිව නේටෝ (NATO) සංවිධානය සිය ආරක්ෂාව තහවුරු කරන බවට එහි මහලේකම් මාක් රූට් (Mark Rutte) ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
රුසියාව න්‍යෂ්ටික අවි සහිත චන්ද්‍රිකාවක් අභ්‍යවකාශ ගත කිරීමට සූදානම් වන බවට පළ වූ වාර්තා හමුවේ මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා.
බර්ලින්හි පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී ජර්මානු චාන්සලර් ෆ්රෙඩ්රික් මර්ස් (Friedrich Merz) සමඟ අදහස් දක්වමින් මාක් රූට් සඳහන් කළේ නේටෝ භූමියේ සෑම අඟලක්ම ආරක්ෂා කිරීමට සිය සංවිධානය කැපවී සිටින අතර අභ්‍යවකාශ කලාපයේ ආරක්ෂාව ද ඊට ඇතුළත් බවයි.
අවශ්‍ය අවස්ථාවලදී සිය ආරක්ෂක සහ ප්‍රතිචාර දැක්වීමේ සූදානම නිරන්තරයෙන් ඇගයීමට ලක් කරන බව ද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.
ඉදිරි සති කිහිපය හෝ දින 60 ඇතුළත රුසියාව න්‍යෂ්ටික අවියක් රැගත් චන්ද්‍රිකාවක් අභ්‍යවකාශගත කිරීමට ඉඩ ඇති බවට වූ බුද්ධි තක්සේරු නේටෝ රටවල් අතර හුවමාරු වී ඇති බවට ජර්මානු මාධ්‍ය වාර්තා කළ බව සඳහන් වෙනවා.
ජර්මනියේ බුන්ඩෙස්නැක්රිච්ටෙන්ඩියන්ස්ට් (BND) බුද්ධි සේවය සහ සන්නද්ධ හමුදා අතර හුවමාරු වූ බුද්ධි තොරතුරුවලට අනුව, ‘ස්පුට්නික්-එස්’ (Sputnik-S) ලෙස නම් කර ඇති රුසියානු චන්ද්‍රිකාවක් වසර කිහිපයකට පෙර එකලස් කර ඇති අතර එය මොස්කව් කලාපයේ රඳවා ඇති බව NDR සහ WDR විකාශන ආයතන මෙන්ම Sueddeutsche Zeitung පුවත්පතද වාර්තා කළා.
එම වාර්තාවලට අනුව, නොවැම්බර් මස මුලදී නිකුත් කළ අනතුරු ඇඟවීම්වල සඳහන් වූයේ මෙම චන්ද්‍රිකාව දින 60ක් ඇතුළත දියත් කළ හැකි බවත් ඉන් කෙටි කලකට පසු එය ක්‍රියාත්මක වනු ඇති බවයි.
එවැනි චන්ද්‍රිකාවක් මගින් අනෙකුත් චන්ද්‍රිකාවලට හානි කිරීමේ හෝ සන්නිවේදන, නිරීක්ෂණ සහ කාලගුණ පද්ධති අඩාල කිරීමේ හැකියාව පවතින බවටයි එම වාර්තාවල සඳහන් වන්නේ.
ඒ අතර බර්ලින්හි පිහිටි රුසියානු තානාපති කාර්යාලය ජර්මානු මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ එවැනි සැලසුම් පිළිබඳව තමන් දැනුවත් නොමැති අතර මෙම චෝදනා “පදනම් විරහිත” සහ “ප්රචාරක ව්‍යාපාරයක” කොටසක් බවයි.
මොස්කව්හි අභ්‍යවකාශ ක්‍රියාමාර්ග “ජාත්‍යන්තර බැඳීම්වලට අනුකූලව” සිදුවන බවත් ඒවා “සම්පූර්ණයෙන්ම සාමකාමී අරමුණු” වෙනුවෙන් පමණක් ක්‍රියාත්මක වන බවත් තානාපති කාර්යාලය විසින් වැඩිදුරටත් පැවසූ බව සඳහන් කර තිබෙනවා.
අභ්‍යවකාශයේ න්‍යෂ්ටික පිපිරීමක් සිදු කර විද්‍යුත් චුම්භක ස්පන්දනයක් (EMP) ඇති කිරීම මගින් අවට ඇති සතුරු චන්ද්‍රිකාවල විද්‍යුත් පද්ධති අක්‍රිය කළ හැකි අවියක් මොස්කව් පාලනය විසින් නිපදවමින් සිටින බවට 2024 වසරේදී අමෙරිකානු නිලධාරීන් කළ ප්‍රකාශයන් රුසියාව විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
යුක්රේන හමුදා විසින් භාවිතා කරනු ලබන SpaceX සමාගමේ දැවැන්ත ‘ස්ටාර්ලින්ක්’ (Starlink) අන්තර්ජාල පද්ධතිය වැනි සමස්ත චන්ද්‍රිකා ජාලයන්ම විනාශ කිරීමේ හැකියාව ඇති න්‍යෂ්ටික අවියක් රුසියාව වසර ගණනාවක් තිස්සේ නිපදවමින් සිටින බවට අමෙරිකානු නිලධාරීන් විසින් රුසියාවට චෝදනා එල්ල කර තිබුණා.
අභ්‍යවකාශයේ අවි ස්ථානගත කිරීමට රුසියාවට ඇති අභිලාෂයන් පිළිබඳ සැකයන් නැවතත් දැඩි අවධානයට ලක් වූයේ 2022 වසරේදී ‘කොස්මොස් 2553’ (Kosmos 2553) අත්හදා බැලීමේ චන්ද්‍රිකාව දියත් කිරීමත් සමඟයි.
එය අභ්‍යවකාශයේ න්‍යෂ්ටික අවියක් යෙදවීමේ පෙරහුරුවක් විය හැකි බව අමෙරිකානු බුද්ධි අංශ මූලාශ්‍ර පෙන්වා දෙනවා.










