රිජ්වේ රෝහලේ මියගිය වකුගඩු රෝගී දරුවාගේ සැත්කම සිදුකළ වෛද්‍යවරුන්ට අධිකරණයේ පෙනීසිටින්නැයි සිතාසි

වකුගඩු රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ගැනීම සඳහා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගිය තෙහැවිරිදි බාල වයස්කාර හම්දි ෆස්ලිම් නමැති පිරිමි දරුවාගේ මිය යාමේ සිද්ධියට අදාලව වකුගඩු සැත්කම කළ බව කියන මේ වන විට විදේශගතව සිටින වෛද්‍ය නවීන් විජේකෝන් ඇතුලු වෛද්‍යවරුන් දෙදෙනාට මාර්තු 29 අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා කොළඔ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් අද (5) සිතාසි නිකුත් කර තිබෙනවා.

ඒ කොළඔ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් වරුෂ විතාන හමුවේ නඩුව කැඳවු අවස්ථාවේදී එම නියෝගය නිකුත් කෙරුණා.

මියගිය දරුවාගේ සැත්කම කළ බව කියන වෛද්‍යවරයා සහ තවත් වෛද්‍යවරියෙක් සිද්ධියට අදාලව ප්‍රකාශ ලබා ගැනීමට ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය බවට නීතිපති උපදෙස් ලැබී ඇති තිබෙන බවට සිද්ධියට අදාල නඩුව කැඳවු අවස්ථාවේදි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයේදී ප්‍රකාශ කළා.

ඒ අනුව මියගිය දරුවාගේ සැත්කම කළ බව කියන වෛද්‍ය නවීන් විජේකොන් සහ එම සැත්කමට අදාලව පරික්ෂණ කළ බව කියන වෛද්‍ය නුවන් හේරත්ට අධිකරණයෙන් එලෙස සිතාසි නිකුත් කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කරුණු දක්වමින් මෙම නඩුව නීතිපති උපදෙස් සඳහා යොමු කර ඇති බව දන්වා සිටියා.

මෙම දරුවාගේ සැත්කම වෛද්‍ය නවීන් සහ සැත්කමට පෙර ස්කෑන් පරීක්‍ෂණ වෛද්‍ය නුවන් හේරත් විසින් සිදු කර ඇති බව සිද්ධියට අදාලව කරුණු දක්වමින් අගතියට පත් පාර්ශවය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතීඥ වෛද්‍ය යුෂුප් සඳහන් කළා.

⁣එහිදි දකුණු වකුගඩුව යහපත් තත්වයේ පවතින බවත් වම් වකුගඩුව ඩැමේජ් වී ඇති බව වෛද්‍ය නුවන් හේරත් සැත්කමට පෙර දන්වා ඇති බවද නීතීඥවරයා පවසා සිටියා.

එම දරුවා මිය යාමට හේතුව වනුයේ ක්‍රියාකාරී තත්ත්වයේ වූ එක් වකුගඩුවක් සහිත වූ මරණකරුගේ අනෙක් වකුගඩුවට ආසාදනය වීම හේතුවෙන් එය ඉවත් කිරීමෙන් පසු බවයි සදහන්ව තිබුණේ.

අදාළ සැත්කම සිදු කළ බව කියන නවීන් විජේකෝන් මහතා ස්කයිප් තාක්ෂණය ඔස්සේ ලබා දුන් ප්‍රකාශයට අදාළ වාර්තා අධිකරණයට ලැබී තිබූ අතර එම සාක්ෂි සටහන් වලට පෙර නඩු දිනයේදී විවෘත අධිකරණයේ දී පූර්වගාමී මහේස්ත්‍රාත්වරයා විසින් අත්සන් කර තිබුණා.

මේ වන විට ඕස්ට්‍රේලියාවේ රැඳී සිටින එම දරුවාගේ ශල්‍යකර්මය සිදු කළ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය නවීන් විජේකෝන්, ස්කයිප් තාක්ෂණය ඔස්සේ ලබාදුන් ප්‍රකාශයට අදාළ වර්තා අධිකරණයට ලැබී තිබෙන බවද පෙර නඩු දිනයේදී සඳහන් කර තිබුණා.

වෛද්‍යවරයා ලබා දුන් සාක්ෂිය ඕස්ට්‍රේලියානු මහා කොමසාරිස් කාර්යාලය හරහා තහවුරු කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පෙර නඩු දිනයකදී නියෝග කර තිබුණා.

එම දරුවාගේ වම් වකුගඩුවේ ඇති වූ රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ගැනීම සඳහා ඔහුව රෝහල වෙත ඇතුළත් කර ඇති බවත් එහිදී සිදුකළ ශල්‍යකර්මයකදී දරුවාගේ සාමාන්‍ය තත්ත්වයේ තිබූ දකුණු වකුගඩුවටද හානි සිදුවීමෙන් මෙම මියයාම සිදුව ඇති බව පවසමින් මියගිය දරුවාගේ කොටහේන ප්‍රදේශයේ පදිංචි මව්පියන් බොරැල්ල පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලක් අනුව එම විමර්ශන ආරම්භ කෙරුණා.

සිද්ධියට අදාල නඩුව මාර්තු 29 යළි කැඳවිමට නියමිතයි .