රවී කරුණානායකට ඇප

ජාතික ලොතරැයි මණ්ඩලයේ විශේෂ ව්‍යාපෘතියක් සඳහා බඳවාගත් සේවකයින් තිදෙනෙකු සිය දේශපාලන කටයුතුවලට යොදවා රජයට පාඩු සිදුකළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය රවී කරුණානායක ඇප මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් වරුෂ විතාන අද (31) නියෝග කළා.

සැකකරුට ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 02ක් නියම කළ මහේස්ත්‍රාත්වරයා ඔහුගේ විදෙස් ගමන් තහනම් කිරීමට ද නියෝග කළා.

සිද්ධියට අදාළ නඩුව කැඳවු අවස්ථාවේ දී අල්ලස් කොමිසම විසින් කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව මෙලෙස නියෝග කළා.

ප්‍රකාශයක් ලබා දීම සඳහා අද (31) අල්ලස් කොමිසමට පැමිණි අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙම විමර්ශනයට අදාළව අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස රවී කරුණානායක මන්ත්‍රීවරයාට අවස්ථා 04කදීම දැනුම් දී තිබුණ ද ඔහු එම කොමිසම හමුවට පැමිණ තිබුණේ නොමැති බවත්, එම නිසා එම කොමිසමේ නිලධාරීන් පිරිසක් ඉකුත් 29 වන දින මන්ත්‍රීවරයාගේ නිවස වෙත ද ගොස් පරීක්ෂා කළ බවයි අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියේ.

තවද අල්ලස් කොමිසමට පැමිණ ලෙස දන්වා සිටියදී දිගින් දිගටම දීර්ඝ දින ඉල්ලා කල් දැමූ බවත් අල්ලස් කොමිසම සැකකරුගේ නිවසට ගිය අවස්ථාවේ දී සැකකරුගේ දියණියගේ විවාහ මංගල්‍යය සදහා නුවරඑළිය ප්‍රදේශයට ගොස් ඇති බව දැනුම් දුන් නමුත්, කරන ලද විමර්ශනවලදී නුවරඑළිය ප්‍රදේශයට නොව හම්බන්තොට ප්‍රදේශයේ සිටින බවට තොරතුරු ලැබුණ බවයි අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියේ.

මෙම සැකකරු 2015.01.12 වන දින සිට 2017.05.22 දින දක්වා මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටිය දී එම ධූරය දරමින් ජාතික ලොතරැයි මණ්ඩලයේ අරමුදල් වලින් වැටුප් ගෙවීමේ පදනම මත මුදල් අමාත්‍යංශයේ විශේෂ ව්‍යාපෘතියක් යැයි සඳහන් කර සම්බන්ධීකරණ නිලධාරීන් දෙදෙනෙකු සහ කළමණාකරණ සහකාරවරයෙකු ලෙස පුද්ගලයින් තිදෙනෙකු ජාතික ලොතරැයි මණ්ඩලයේ එවකට සභාපති ශ්‍යාම්ලා පෙරේරා යන අය සමඟ එක්ව කොන්ත්‍රාත් පදනම මත බඳවා ගෙන ජාතික ලොතරැයි මණ්ඩලය වෙත කිසිදු සේවයක් ලබා නොගෙන එම මණ්ඩලය මඟින් වැටුප් හා දීමනා ගෙවීමට කටයුතු කිරීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගත් බවයි විමර්ශන නිලධාරීන් වැඩිදුරටත් අධිකරණයට දන්වා සිටියේ.

තවද මෙම සැකකරු පළමු සැකකාරිය සඟ එකතු වී සාක්ෂිවලට බලපෑම් කිරීමට කටයුතු කරන බැවින් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසද අල්ලස් කොමිසම අධිකරණට දන්වා සිටියා.

එනම් 1994 අංක 20 දරණ පනතින් සංශෝධිත අල්ලස් පනතේ 70 වගන්තියට අදාළව දුෂණය නැමැති වරද සිදු කිරීමේ චෝදනාව මත හිටපු මුදල් අමාත්‍යවරයාට වෝදනා ගොනු කර ති⁣බුණා.

සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතීඥ අශෝක වීරසුරිය පවසා සිටියේ මාගේ සේවා දායකයා බොහෝ රෝගී තත්ත්වයන් වලින් පෙලෙන බැවින් ඇප ලබා දෙන ලෙසයි.

තවදුරටත් අධිකරණයට කරුණු දැක්වූ ජනාධිපති නීතීඥ අශෝක වීරසුරිය මෙලෙස පැවසුවා.

” ස්වාමීනි මාගේ සේවාදායකයාට දැනට ස්ටේයින් 05ක් දලා තියෙනවා. 2026/ 8/26 දින සිංගප්පූරු රෝහලේදී කරන ලද පරික්ෂණයට අදාල වෛද්‍ය වර්තාවල සදහන් කර තිබෙනවා. අනාගතයේ දීත් තව ස්ටේයින් 03ක් දැමීමේ හැකියාවක් තිබෙන බව. තවද මාගේ සේවාදායකයා ස්ලීප් ඇප්නියා නමැති රෝගයෙන් පෙලෙනවා. තවද මරාන්තික බැක්ටීරියාක් වන සෙලුලයිටිස් කියන බැක්ටීරියාව ආසාදනය වී තිබෙනවා. ඒ නිසා ඔහුට පරිසර ආසාධිත තැන්වල ඉන්න බැහැ.

“වෛද්‍ය ගෝඨාභය රණසිංහ විසින් ඔහුට දෛනිකව ගත යුතු බෙහෙත් වට්ටෝරුවක් ලබා දී තිබෙනවා. ඒවා හැමදාම ගත යුතුයි. එසේම දියවැඩියාවට ඉන්සියුලීන් විදිනවා. තවද මෙහි පළමු සැකකාරියට ඇප ලබා දී ඇති බැවින් මාගේ සේවාදායකයාද ඇප මත මුදා හරින ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටිනවා”

තවද මාගේ සේවාදායකයා අධිකරණයය මග ⁣හැරීමට හේතුවක් නොමැති බවත් ඉහළ අධිකරණවල ද තවත් නඩු පවතින බවයි ජනාධිපති නීතීඥවරයා අධිකරණයට දන්වා සිටියේ.

ඉදිරිපත් වු කරුණු සලකා බැලු අතිරේක මහේස්ත්‍රාත්වරයා සැකකරු ඇප මත මුදා හරිනු ලැබුවා