කොළඹ නගරය තුළ සහ එහි තදාසන්න ප්‍රදේශයන්හි පවතින නිවාස හිඟය සහ ජනාවාස ගැටලු විසඳීම සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සහ පෞද්ගලික අංශය ඒකාබද්ධව නව මහල් නිවාස සංකීර්ණ ඉදිකිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.
මේ යටතේ, නිවාස සංවර්ධන අධිකාරිය සතු ඉඩම් වල නව මහල් නිවාස සංකීර්ණ ඉදිකිරීම සඳහා යෝජනා වී ඇති ස්ථාන පිළිබඳව සොයා බැලීම වෙනුවෙන් නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් අද (20) දින කොළඹ නගරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වුණා.
මෙම නිරීක්ෂණ චාරිකාවේදී නිවාස සංවර්ධන අධිකාරිය සතු ඉඩම් සහ දේපළවල වත්මන් තත්ත්වය, ඒවා සංවර්ධනය කිරීමේදී පවතින නීතිමය, තාක්ෂණික සහ ප්‍රායෝගික ගැටලු මෙන්ම අදාළ ප්‍රදේශ වාසීන් මුහුණ දෙන ගැටලු පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කෙරුණා.
ඒ අනුව, දෙමටගොඩ ආරාම පාරේ පිහිටි ජන සෙවණ නිවාස සංකීර්ණයට අදාළව පවතින ගැටලු පිළිබඳව විශේෂ අවධානයක් යොමු කෙරුණු අතර, එම ගැටලු කඩිනමින් විසඳීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට නියෝජ්‍ය අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.
එමෙන්ම, ආරාම පාර අඩු ආදායම්ලාභීන් පදිංචි හැටතුනේ වත්ත ප්‍රදේශයේ නව මහල් නිවාස සංකීර්ණයක් ඉදි කිරීම සඳහා යෝජිත ඉඩම නිරීක්ෂණය කරනු ලැබුවා.
එහිදී එම ඉඩමේ පිහිටීම, ප්‍රමාණය, යටිතල පහසුකම් සහ පදිංචිකරුවන්ගේ අවශ්‍යතා පිළිබඳව සොයා බලන ලදී. තවද, මාලිගාවත්ත ප්‍රදේශයේ නිවාස සංවර්ධන අධිකාරිය සතු ඉඩමක් පිළිබඳව ද එහිදී සාකච්ඡා කෙරුණු අතර, එම ඉඩමට අදාළව පවතින ගැටලු විසඳා, එම ඉඩම ඵලදායී ලෙස සංවර්ධනය කිරීම සඳහා ක්‍රමවත් වැඩ පිළිවෙළක් සකස් කිරීමට තීරණය වුණා.
2027 වර්ෂය තුළ කොළඹ නගරය ඇතුළත සහ අනෙකුත් නාගරික ප්‍රදේශයන්හි පවතින ජනාවාස ගැටලු විසඳීම සඳහා අවශ්‍ය කටයුතු සැලසුම් සහගතව ක්‍රියාත්මක කිරීමට රජය අපේක්ෂා කරන බව මෙහිදී අවධාරණය කෙරුණා.
ඒ සඳහා අඩු ආදායම්ලාභී සහ මධ්‍යම ආදායම්ලාභී ජනතාවට දැරිය හැකි මිලකට, සියලු පහසුකම් සහිත නවීන මහල් නිවාස ලබා දීම ප්‍රමුඛතාවයක් වනවා.
මෙම නිරීක්ෂණ අවස්ථාව සඳහා නිවාස සංවර්ධන අධිකාරියේ කොළඹ දිස්ත්‍රික් කළමනාකරු ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වුණා.










