මෙට්‍රෝ සේවාවට අදාළ ‘LMT Go’ App එක තවත් වැඩිදියුණු කිරීමට සැලසුම්

මෙට්‍රෝ බස් සේවාව භාවිත කරන මගී ජනතාවට වඩාත් පහසු, විශ්වාසනීය සහ කාර්යක්ෂම ඩිජිටල් සේවාවක් ලබාදීමේ අරමුණින් LMT Go ජංගම දුරකථන යෙදුමේ පවතින අඩුපාඩු හඳුනාගැනීම සහ එය තවදුරටත් වැඩිදියුණු කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ (04) පැවැත්වුණා.

ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේනගේ ප්‍රධානත්වයෙන්, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේදී මෙම සාකච්ඡාව පැවැත්වුණා.

මෙහිදී LMT Go යෙදුම භාවිත කරන මගීන්ගේ අත්දැකීම්, ඔවුන් මුහුණ දෙන ප්‍රායෝගික ගැටලු සහ යෝජනා සෘජුවම සාකච්ඡාවට ලක් කෙරුණා.

එමෙන්ම මෙට්‍රෝ බස් මෙහෙයුම් කාර්ය මණ්ඩලයේ අත්දැකීම් සහ තාක්ෂණික සේවා සපයන ආයතනවල විශේෂඥ අදහස්ද සැලකිල්ලට ගනිමින්, යෙදුමේ පවතින දුර්වලතා මඟහරවා ගැනීමටත්, මගී අවශ්‍යතාවලට වඩාත් හොඳින් ප්‍රතිචාර දක්වන ආකාරයට එහි පහසුකම් වැඩිදියුණු කිරීමටත් අවධානය යොමු කරනු ලැබුවා.

බස් රථ 10කින් සහ මාර්ග දෙකකින් නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ වූ මෙට්‍රෝ බස් සේවාව මේ වනවිට බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක තුනක් ආවරණය කරමින් මාර්ග 7ක බස් රථ 122ක් දක්වා ව්‍යාප්ත වී තිබෙනවා.

2027 වසරේදී තවත් නව බස් රථ 50ක් සේවාවට එක් කිරීමටත්, ඉදිරියේදී මහනුවර, යාපනය සහ ගාල්ල යන නගර වෙතද මෙට්‍රෝ බස් සේවාව ව්‍යාප්ත කිරීමටත් සැලසුම් කර තිබෙනවා.