මීගමුව සාගර විශ්වවිද්‍යාලයේ පාඨමාලා සඳහා සහභාගී වන සිසුන්ට එහි දේශන සඳහා පැමිණෙන ගුරුවරයෙකු විසින් අමානුෂික ලෙස මානසික හා ශාරීරික පීඩා සිදුකරන බවට ලැබී ඇති තොරතුරු සම්බන්ධයෙන් මීගමුව පොලිසිය මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරනු ලැබුවා.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා පළවීමෙන් අනතුරුව විමර්ශන ආරම්භ කළ බවත්, ඒ අනුව සිද්ධියට අදාළව සිසුන් 11 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති බවයි මීගමුව ප්‍රධාන පොලිස් පරීක්ෂක තිළිණ දම්සිත් අධිකරණයට දැනුම් දුන්නේ.
එමෙන්ම පැමිණිල්ල ඉදිරිපත් කළ සිසුවා ඇතුළු තවත් සිසුන් සිව්දෙනෙකු අධිකරණ වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කර ඇති බවද පොලිසිය අධිකරණයට සඳහන් කළා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකිරීම සඳහා අදාළ මාධ්‍ය ආයතනය සතුව පවතින සංස්කරණය නොකළ දර්ශන පොලිසිය වෙත ලබාදෙන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසද පොලිස් නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.
එම ඉල්ලීම සලකා බැලූ මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය, අදාළ සංස්කරණය නොකළ දර්ශන පොලිසිය වෙත ලබාදෙන ලෙස නියෝග කරනු ලැබුවා.
මෙම සිද්ධිය සම්බන්ධ විමර්ශන පිළිබඳව මීගමුව ප්‍රධාන පොලිස් පරීක්ෂක තිළිණ දම්සිත්, උප පොලිස් පරීක්ෂක අතපත්තු සහ පොලිස් සැරයන් සිසිර කුමාර යන නිලධාරීන් අධිකරණයට කරුණු වාර්තා කළා.
සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතිනවා.










