ප්‍රාදේශීය කාර්යාලවලින් විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා නව මාර්ගගත පද්ධතියක්

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින්, එහි ප්‍රාදේශීය කාර්යාල හරහා විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා මාර්ගගත ක්‍රමයට වේලාවන් වෙන්කර ගැනීමේ පහසුකම හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

මෙම ක්‍රමවේදය ඔස්සේ, එළඹෙන 29 වැනිදා සිට මහජනතාවට ප්‍රාදේශීය කාර්යාලවලින් විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා වේලාවන් වෙන්කර ගත හැකි බව එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

ඒ අනුව, විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට අපේක්ෂා කරන්නන්ට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය වෙත පිවිස, තමන්ට අවශ්‍ය දිනය සහ වේලාව වෙන්කර ගත හැකියි.

මහනුවර, යාපනය, කුරුණෑගල, වවුනියාව සහ මාතර යන ප්‍රාදේශීය කාර්යාල මෙම සේවාවට ඇතුළත්.

බත්තරමුල්ලේ පිහිටි ප්‍රධාන කාර්යාලයෙන් විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා මෙම වේලාවන් වෙන්කර ගැනීමේ ක්‍රමවේදය අදාළ නොවන බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.