ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ මන්නාරම දිස්ත්‍රික්කයට මිලියන 473ක්

‘ප්‍රජා ශක්ති’ දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහන යටතේ දිවයිනේ සෑම පරිපාලන දිස්ත්‍රික්කයකම ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් ප්‍රමුඛතා හඳුනාගනිමින් ජීවනෝපාය සංවර්ධන සහ යටිතල පහසුකම් සංවර්ධන යන ප්‍රධාන අංශ දෙක යටතේ ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති 15,000කට අධික සංඛ්‍යාවක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය සහ ප්‍රජා ශක්ති ජාතික ලේකම් කාර්යාලය එක්ව ක්‍රියාත්මක කරනු ලබන මෙම ජාතික වැඩසටහන සඳහා 2026 අයවැය මඟින් වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 25,000ක්.

ඉන් මේ වන විට රුපියල් මිලියන 23,000ක පමණ සංවර්ධන ව්‍යාපෘති සඳහා අනුමැතිය ලබා දී තිබෙනවා.

ඒ අනුව, මන්නාරම දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ ප්‍රජා සංවර්ධන සභා නියෝජිතයන් දැනුවත් කිරීමේ සමුළුවක් පසුගියදා ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ ප්‍රධානත්වයෙන් මන්නාරම, නානාට්ටන් ප්‍රාදේශීය සභා සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා.

එහිදී අනාවරණය වූයේ මන්නාරම දිස්ත්‍රික්කය තුළ රුපියල් මිලියන 473ක වටිනාකමින් යුත් සංවර්ධන ව්‍යාපෘති 217ක් ක්‍රියාත්මක වන බවයි.

ඒ යටතේ ප්‍රතිලාභීන් 47,085 දෙනෙකුට ඍජු ප්‍රතිලාභ හිමිවීමට නියමිතය. එමෙන්ම, මෙම ව්‍යාපෘතිවල භෞතික ප්‍රගතිය සියයට 47.28ක් සහ මූල්‍ය ප්‍රගතිය සියයට 3.19ක් ලෙස වාර්තා වී තිබෙනවා.

මෙම අවස්ථාවේදී සභාව ඇමතූ අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා ප්‍රජා සංවර්ධන සභා නියෝජිතයන්ගේ කාර්යභාරය සහ වගකීම් පිළිබඳව දැනුවත් කළේය. එමෙන්ම, දැනට ක්‍රියාත්මක වෙමින් පවතින සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කරමින් ඒවායේ ප්‍රතිලාභ ජනතාවට කාර්යක්ෂමව ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද උපදෙස් ලබා දුන්නා.

මෙම අවස්ථාවට වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ජෙගදීස්වරන් මහතා, ග්‍රාම සංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ තිලිනි කරස්නාගොඩ , ග්‍රාමීය සංවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ ප්‍රදීප් වික්‍රමගේ, වන්නි දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය ලේකම්වරුන්, රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රජා සංවර්ධන සභා නියෝජිතයන් ඇතුළු පිරිසක් සහභාගී වුණා.