Rajapura Handi Oil
Rajapura Diabetic Powder

දේශීය ආදායම් දෙපාර්තමේන්තු තක්සේරුකරුවෙකුට වසර 16ක සිරදඬුවම් – ප්‍රජා අයිතියත් තහනම් කරයි

ව්‍යාපාරිකයකුගෙන් වාර්ෂිකව අය කළ යුතු බදු මුදල් අඩුවෙන් තක්සේරු කිරීම සඳහා රුපියල් ලක්ෂ 04ක අල්ලස් මුදලක් ඉල්ලා ඉන් රුපියල් 375,000ක මුදලක් අල්ලස් ලෙස ලබාගැනීම ඇතුළු චෝදනා 04කට වරදකරු කරනු ලැබූ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ තක්සේරුකරුවෙකු ලෙස සේවය කළ රාජපක්ෂ මුද්දියන්සේලාගේ අනුරුද්ධ අභයරත්න නමැත්තාට බරපතළ වැඩ සහිත වසර 16ක සිර දඬුවම් නියම කොට එම සිරදඬුවම් කාලය එකවර එනම් වසර 04කින් ගෙවී යන ලෙස ලබාදීමට කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් විහාල් මහතා නියෝග කළා.

එයට අමතරව විත්තිකරුට රුපියල් 20,000ක දඩයක්ද නියම කළ විනිසුරුවරයා අල්ලස් ලෙස ලබාගත් තුන් ලක්ෂ හැත්ත පන්දහක මුදල දඩයක් ලෙස අයකර ගැනීමටද නියෝග කරනු ලැබුවා.

එකී දඩය නොගෙවන්නේ නම් මාස 14ක අමතර ලිහිල් සිර දඬුවම් ලබාදීමට ද විනිසුරුවරයා නියෝග කළ අතර, අල්ලස් පනතේ ප්‍රතිපාදන අනුව විත්තිකරුට වසර හතක කාලයකට ඔහුගේ ප්‍රජා අයිතියද තහනම් කිරීමට පියවර ගන්නා ලෙසද නියෝග කරනු ලැබුවා.

අල්ලස් පනතේ 29 වන වගන්ති වගන්තිය අනුව මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු අදාළ ආයතන වෙත ඒ බව දන්වා යවන ලෙසටද විනිසුරුවරයා නියෝග කළා.

අනුරාධපුර දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කළ එම විත්තිකරු 2011 වසරේ දී හේමජිත් උපුල්දෙනිය නමැත්තාගෙන් එම අල්ලස් මුදල අයැදීම ඇතුළු චෝදනා හතරක් යටතේ මෙම නඩුව ගොනු කර තිබුණා.

එම නඩුවේ දෙවන විත්තිකාරිය ලෙස නම් කොට තිබූ ජලීලා බේගම් නමැත්තිය වරද පිළිගැනීම නිසා 2019 වසරේදී දඬුවමට යටත්ව තිබූ අතර පළමු විත්තිකරු වරද පිළිගැනීම ගැනීම නිසා නඩු විභාගය පැවැත්වීමට අධිකරණය තීරණය කර තිබුණා.

වසර හතළිහක රාජ්‍ය සේවකයෙකු ලෙස සිය සේවා දායකයා සේවයකළ බවත්, ඔහුගේ වයෝවෘද්ධභාවය, අසනීප තත්ත්වය සලකා ලිහිල් දඬුවම් නියම කරන ලෙස නීතිඥවරයා විත්තිකරු වෙනුවෙන් ඉල්ලා සිටියා.

පොදු ජනතාව හා රජය අතර ගනුදෙනු සිදුකිරීමට අදාළ ප්‍රධානතව ආයතනයක් වන බවත් මහජනතාවගෙන් බදු මුදල් අයකර ගැනීමේ ප්‍රධානතම ආයතනය වන එය සමඟ ගනුදෙනු කිරීමේ දී ජනතාවට අත්විඳීමට සිදුවන අහිතකර ප්‍රතිඵල අනුව විත්තිය ඉල්ලා සිටින පරිදි ලිහිල් දඬුවම් ලබාදීම සිදුකළ නොහැකි බවත් එවැනි වැරදි සිදුකිරීමට අපේක්ෂා කරන අයටද පූර්වාදර්ශයක් ලබාදෙන පරිදි දඬුවම් නියම කළ යුතු බව පෙන්වා දුන් විනිසුරුවරයා සඳහන් කළේ විත්තිකරුගේ වයෝවෘද්ධභාවය හා අසනීප තත්ත්වය සලකා බලා වසර 16ක සිර දඬුවම් නියම කරන බවත් එය වසර හතරකින් එකවර ගෙවී යන ලෙස ලබාදෙන බවයි.