දෙහිවල ගැහැණු සීබ්‍රා සතෙකුට ලොකු ශල්‍යකර්මයක්

දෙහිවල සත්වෝද්‍යානයේ ජීවත් වන ගැහැණු සීබ්‍රා සතුන් දෙදෙනාගෙන් එක් සතෙකු පසුගිය 29 වැනිදා සිට අසනීප තත්ත්වයක් පෙන්නුම් කර තිබුණා.

ඒ අනුව, අදාළ සත්ත්වයාගේ ලබාගත් සාම්පල මගින් හා සිදු කරන ලද ස්කෑන් පරීක්ෂණය මගින්, එම සත්ත්වයාගේ ආහාර මාර්ගයේ අවහිරතාවක් පවතින බව හඳුනාගෙන තිබෙනවා.

මේ වන විට දෙහිවල සත්වෝද්‍යානයේ පශු වෛද්‍ය අංශය මඟින් එම තත්ත්වයට අදාළ ප්‍රතිකාර සිදුකර තිබුණද සත්ත්වයාගේ සෞඛ්‍ය තත්ත්වය යථා තත්ත්වයට පත් නොවීම හේතුවෙන්, ඊයේ (08) දින පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ අශ්ව විශේෂ (Equine Species) පිළිබඳ විශේෂඥ දැනුම හා අත්දැකීම් සහිත ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය ධම්මික පෙරේරාගේ විශේෂඥ පරීක්ෂාවට සත්ත්වයා යොමු කර තිබෙනවා.

එහිදී සිදුකළ වැඩිදුර පරීක්ෂාවන්ගෙන් අනතුරුව, අදාළ ආහාර මාර්ගයේ අවහිරතාව ඖෂධීය ප්‍රතිකාර මඟින් පමණක් ඉවත් කිරීමට නොහැකි බැවින්, ශල්‍යකර්මයක් මඟින් එය නිවැරදි කිරීම සුදුසු බව විශේෂඥ පශු වෛද්‍ය උපදෙස් සමඟ දෙහිවල සත්වෝද්‍යානයේ පශු වෛද්‍ය නිලධාරීන් නිර්දේශ කර තිබුණා.

ඒ අනුව, විශේෂඥ පශු වෛද්‍ය සහභාගීත්වයෙන් සහ දෙහිවල සත්වෝද්‍යානයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් අදාළ ශල්‍යකර්මය සිදුකිරීමට නියමිතයි.