ජනපති සමඟ පැවති සාකච්ඡාව ගැන මල්වතු මහාවිහාරයෙන් නිවේදනයක්

බන්ධනාගාර ගතකර සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ නියෝජිත මහාසංඝරත්න සහ ජනාධිපතිවරයා අතර පැවැති සාකච්ඡාව සම්බන්ධයෙන් මල්වතු මහාවිහාර පාර්ශ්වය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

පවතින නෛතික රාමුව තුළ බරපතල වැඩ සහිතව වසර 03 කට වැඩි කාලයක් සිරගතකිරීමකට නියම කරන ලද භික්ෂූන් වහන්සේ නමක් බන්ධනාගාරයෙන් බැහැරට චීවරය සහිතව රැගෙන යාම සිදුකළ නොහැකි බවත් බන්ධනාගාර නිත්‍ය නියෝග තුළ සඳහන් වන ආකාරයට එවැනි පියවරක් ගැනීමට හැකියාවක් නොමැති බවත් එහෙයින් කඩිනමින් කමිටුවක් පත්කොට එම නීති සංශෝධනය කොට යළිත් එවැනි තත්ත්වයක් ඇති වීමට ඉඩ නොතබන බවත් ජනාධිපතිවරයා එම සාකච්ඡාවේදී අවධාරණය කළ බවයි මල්වතු මහාවිහාර පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී මහවෙල රතනපාල හිමියන්ගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.

එම නිවේදනයේ සම්පූර්ණ උපුටා ගැනීම පහතින්,

”2026.10.09 දින ගරු ජනාධිපතිතුමන් සමග පැවති සාකච්ඡාවේ දී වරදකට සිරගත වන භික්ෂුන් වහන්සේලා බැහැරට ගෙන යාමේ දී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වර්තමානයේ උද්ගතව ඇති අර්බුදය පිළිබඳ දීර්ඝව කරුණු සාකච්ඡා කරන ලදී.

එහිදී අතිගරු මහානායක මාහිමිපාණන් වහන්සේලා විසින් 2026.10.07 දිනැතිව බන්ධනාගාර කොමසාරිස්තුමන් වෙත යොමු කරන ලද ලිපියෙන් මතු කරන ලද කාරණය ඉතාමත් සාධාරණ බවත් එවැනි කරුණක් හේතුවෙන් ශාසනික වශයෙන් මතු විය හැකි ගැටළු පිළිබඳ එතුමන් පිළිගන්නා බවත් මහජනතාව විසින් වැඳුම් පිදුම් කරන භික්ෂූන් වහන්සේ නමක් වෙනත් ස්වරූපයකින් දැකීම හැම දෙනාගේම සිත් තුළ කණගාටුවක් දුකක් ඇති කිරීමට හේතුවන්නක් බවත් ගරු ජනාධිපතිතුමන් විසින් ප්‍රකාශ කරන ලදී.

එහෙත් පවතින නෛතික රාමුව තුළ බරපතල වැඩ සහිතව වසර 03 කට වැඩි කාලයක් සිරගතකිරීමකට නියම කරන ලද භික්ෂූන් වහන්සේ නමක් බන්ධනාගාරයෙන් බැහැරට චීවරය සහිතව රැගෙන යාම සිදුකළ නොහැකි බවත් බන්ධනාගාර නිත්‍ය නියෝග තුළ සඳහන් වන ආකාරයට එවැනි පියවරක් ගැනීමට හැකියාවක් නොමැති බවත් එහෙයින් කඩිනමින් කමිටුවක් පත්කොට එම නීති සංශෝධනය කොට යළිත් එවැනි තත්ත්වයක් ඇති වීමට ඉඩ නොතබන බවත් ගරු ජනාධිපතිතුමන් විසින් ප්‍රකාශ කරන ලදී.

මෙහිදි අතිගරු අනුනායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු ලේඛකාධිකාරී නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා කරුණු දක්වමින් පැහැදිලි කර සිටියේ භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් පවතින නෛතික තත්ත්වය පිළිබඳ මෙවැනි ගැටළුවක් පවතින බව නිරීක්ෂණය වුයේ ගලගොඩ අත්තේ ඤාණසාර හිමියන්ගේ සිදු වීම හේතු කරගෙන බවත් එතෙක් එවැනි සංවාදයක් ඇති වී නොතිබුණ බවත්ය. විශේෂයෙන් වසර 40 කට අධික ප්‍රමාණයක් චීවරය දරාගෙන කටයුතු කළ සමාජයේ විවිධ ගැටළු පිළිබඳ කථා කළ භික්ෂුවක් සම්බන්ධයෙන් මෙවැනි තත්ත්වයක් උදාවීම සාමාජීය වශයෙන් ඉතා සංවේදී කරුණක් බවත් මහානායක මාහිමි පාණන් වහන්සේලා මෙම කරුණ මතු කරණුයේ සමස්තමහාසංඝ රත්නයම කේන්ද්‍ර කරගෙන බවත් අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන ලේඛකාධිකාරී ස්වාමීන්ද්‍රයන් වහන්සේලා වැඩි දුරටත් ප්‍රකාශ කළහ.

ඒ අනුව අතිගරු මහානායක මාහිමිපාණන් වහන්සේලා විසින් සිදු කරන ලද කරුණු දැක්වීම අනුව යම් භික්ෂුවක් ගරු අධිකරණයෙන් වරදකරු කොට වසර 03 කට අධික කාලයකට සිරගත කිරීමක් සිදු කරන ලද අවස්ථාවේ දී ඒ සම්බන්ධයෙන් අදාළ භික්ෂූන් වහන්සේ අයත් වන නිකාය පාර්ශ්වයට දන්වා ඒ සම්බන්ධයෙන් අදාළ නිකායේ/ පාර්ශ්වයේ නිර්දේශ මත එකී භික්ෂූන් වහන්සේ චීවරයෙන් බැහැරට ගෙනයාම සම්බන්ධයෙන් කටයුතු කිරීමට අදාළ රෙගුලාසියක් කඩිනමින් සකස් කොට ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීම සුදුසු බවත් අදාළ නිකායේ/පාර්ශ්වයේ නිර්දේශ මත එම කටයුත්තසිදු කිරීම හේතුවෙන් කිසිවෙකුට එම සහනය අවභාවිත කිරීමට හැකියාවක් නොමැති බව ගරුතර මහාසංඝ රත්නය අවධාරණය කරන ලදී.

එම යෝජනාව ඉතා සුදුසු යෝජනාවක් බවත් ඒ අනුව කටයුතු කිරීමේ දී අදාළ සංඝ සභාවට එකී භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් මැදිහත් වීමට විධිමත් අවස්ථාවක් ලැබෙන බවත් කිසිවෙකුට එම සහනය අවභාවිතය කිරීමට හැකියාවක් නොලැබෙන බවත් ප්‍රකාශ කළ ගරු ජනාධිපතිතුමන් ඒ අනුව කටයුතු කිරීමට රෙගුලාසි සකස් කිරීම සඳහා කඩිනමින් අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස ගරු අධිකරණ අමාත්‍ය තුමන්ට උපදෙස් ලබා දුන් අතර සති දෙකක කාලයක් තුළ එම කටයුත්ත අවසන් කර ඒ අනුව කටයුතු කරන බවත් ගරුතර මහා සංඝ රත්නයට ප්‍රකාශ කළේය. ශාසනික වශයෙන් සංවේදී මෙම ගැටළුව පිළිබඳව කඩිනම් අවධානය යොමු කරමින් ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් ගුරු ජනාධිපතිතුමන් වෙත ගරුතර මහා සංඝ රත්නයේ පුණ්‍යානුමෝදනාව ද මෙහි දී පළ කරන ලදී.”

උපුටා ගැනීම අවසන්.