Rajapura Handi Oil
Rajapura Diabetic Powder

චීනයේ නව විද්‍යුත් මගී ගුවන් යානය, මිනිසුන් සහිතව සිදු කළ සිය මංගල පියාසැරිය ඉතා සාර්ථකව නිම කරයි

චීනයේ නව විද්‍යුත් මගී ගුවන් යානය, මිනිසුන් සහිතව සිදු කළ සිය මංගල පියාසැරිය ඉතා සාර්ථකව නිම කරමින් ගුවනට එක්වී තිබෙනවා.

ටොන් 10ක් බරැති මෙම ගුවන් යානය, අද (14) චීනයේ නැගෙනහිර පිහිටි ෂැන්ඩොං (Shandong) පළාතේ බින්ෂෝ (Binzhou) නගරය ආශ්‍රිත අහසේ පියාසර කළ බවට වාර්තාවෙනවා. ගුවන් නියමුවන් දෙදෙනෙකු සහ පියාසැරි පරීක්ෂණ ඉංජිනේරුවරයෙකු විසින් මෙම යානය මෙහෙයවනු ලැබුණා.

මෙම පරීක්ෂණ පියාසැරිය පැයකට මඳක් අඩු කාලයක් පුරා පැවති අතර, ඉන් විනාඩි 16යි තත්පර 38ක කාලයක් යානය අහසේ රැඳී සිටිමින් කිලෝමීටර් 60.4ක ​​දුරක් ආවරණය කර තිබෙනවා.

සියලුම කාර්ය සාධන දර්ශක අපේක්ෂිත මට්ටම් සපුරාලමින්, පියාසැරිය ඉතා සුමටව සිදු වූ බව යානය සංවර්ධනය කළ කණ්ඩායම ප්‍රකාශ කළා.

පෙබරවාරි 2 වන දින මෙම යානය යොදාගෙන මිනිසුන් රහිතව සිදු කළ බුද්ධිමත් (intelligent) පරීක්ෂණ පියාසැරියෙන් පසුව, මෙම නවතම පරීක්ෂණය සිදු කෙරුණා.

චීනයේ වාණිජ ගුවන් යානා සංස්ථාව (COMAC) විසින් සංවර්ධනය කරන ලද CE-25A යානය, එම සමාගමේ පළමු විද්‍යුත් වාණිජ ගුවන් යානයයි. ප්‍රධාන වශයෙන් නගර අතර කෙටි ගමන් සඳහා නිර්මාණය කර ඇති මෙම යානයට, මගීන් 19 දෙනෙකු දක්වා ප්‍රවාහනය කළ හැකි බවට සඳහන්.

මෙම යානය පැයට කිලෝමීටර් 300ක වේගයකින් පියාසර කළ හැකි අතර, මීටර් 2,400ක උන්නතාංශයක සිට කිලෝමීටර් 400ක දුරක් ආවරණය කිරීමට සමත් බවත් නිවේදනය කරනවා.

මෙම යානයේ නාමයේ ඇති “C” අකුරෙන් චීනය (China) සහ COMAC යන දෙකම නියෝජනය වන අතර, “E” අකුරෙන් විද්‍යුත් ප්‍රචාලන පද්ධතිය (පියාපත්වලට ඉහළින් සවි කර ඇති, ආවරණය සහිත පංකා මගින් බලගැන්වෙන) සංකේතවත් කෙරෙනවා. “25” යන අංකයෙන් අදහස් වන්නේ, චීනයේ දැඩි ගුවන් සුදුසුකම් ප්‍රමිතීන් වන ‘Part 25’ ප්‍රමිතීන්ට මෙම යානය අනුකූල වන බවයි. “A” අකුරෙන් මෙම ශ්‍රේණියේ පළමු යානය බව දැක්වෙනවා.

මෙම ගුවන් යානය COMAC ආයතනය, ලොව ප්‍රමුඛතම බැටරි නිෂ්පාදකයා වන CATL, ෂැංහයි ජියාඕ ටොං විශ්වවිද්‍යාලය (Shanghai Jiao Tong University) සහ තවත් හවුල්කරුවන් කිහිප දෙනෙකුගේ ඒකාබද්ධ ප්‍රයත්නයක ප්‍රතිඵලයකි.

මිනිසුන් රහිත පරීක්ෂණ පියාසැරි 19ක් දැනටමත් සාර්ථකව නිම කර ඇති බැවින්, යානය සඳහා වන ‘වර්ග සහතිකයක්’ (type certificate) ලබා ගැනීමට ඉදිරිපත් කළ අයදුම්පත බලධාරීන් විසින් පිළිගෙන තිබෙනවා. මෙය වාණිජ සේවය සඳහා යානයට අවසර ලබා ගැනීමේ ක්‍රියාවලියේ තීරණාත්මක පියවරකි.

මෙම සාර්ථක පියාසැරිය, විද්‍යුත් ගුවන් සේවා ක්ෂේත්‍රය දියුණු කිරීමට චීනය දරන උත්සාහයේ වැදගත් ඉදිරි පියවරක් සනිටුහන් කර තිබෙනවා.