කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාව රැස්වෙයි

කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාව අද (17) රැස්වුණා.

ඒ, කෝට්ටේ පාර්ශ්වයේ සංඝනායක ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ (කෝට්ටේ පාර්ශ්වයේ) මහානායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ඓතිහාසික කෝට්ටේ රජ මහා විහාරස්ථානයේ දීයි.

සංඝ සභාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කොටපිටියේ රාහුල අනුනාහිමි ප්‍රකාශ කර සිටියේ ඥානසාර හිමියන්ගේ ගැටලුව වෙනුවෙන් අද දිනයේ මෙලෙස සංඝ සභාව රැස්වූ බවයි.

ඥානසාර හිමියන් වෙනුවෙන් මෙන්ම සමස්ථ භික්ෂුව වෙනුවෙන් සහ බෞද්ධ ජනතාව වෙනුවෙන් පෙනී සිටින ස්ථාවරයේ කිසිම වෙනසක් සංඝ සභාව සිදුකර නොමැති බවයි නාහිමියන් සඳහන් කළේ.

කෙසේ වෙතත් අද දිනයේ මහා සංඝ සභාව රැස්වී ගනු ලැබූ තීන්දු තීරණ පිළිබඳව, සංඝ සභාව ගනු ලැබූ තීරණයක් අනුව එකවර ප්‍රකාශ නොකරන බවයි කොටපිටියේ රාහුල අනුනාහිමි වැඩිදුරටත් පැවසුවේ.