කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් දකුණේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇගයීමට

මහජනතාවට වඩාත් කාර්යක්ෂම සහ කඩිනම් සේවාවක් සැපයීම වෙනුවෙන් ජනාධිපති අරමුදලේ සේවා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටම දක්වා විමධ්‍යගත කිරීමේ වැඩපිළිවෙළ යටතේ 2025 වසරේ ඉහළම කාර්ය සාධනයක් දැක්වු දකුණු පළාතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇගයීමේ “මෙහෙවර පැසසුම්” වැඩසටහන කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් අද (24) පස්වරුවේ රුහුණු විශ්වවිද්‍යාලයේ රවීන්ද්‍රනාත් තාගෝර් ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා.

ගාල්ල, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්ක 03ට අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල අතරින් ජනාධිපති අරමුදලේ අයදුම්පත් ලැබීමේ සහ ඒවාට කඩිනමින් ප්‍රතිචාර දැක්වීමේ කාර්යක්ෂමතාව අනුව එක් එක් දිස්ත්‍රික්කයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල 03ක් බැගින්, තෝරාගත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල 09ක් මෙලෙස ඇගයීමට ලක් කෙරුණා.

ඒ අනුව, ගාල්ල දිස්ත්‍රික්කයේ
1.පළමු ස්ථානය ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයත්,
2.දෙවන ස්ථානය හබරාදූව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයත්,
3.තෙවන ස්ථානය ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයත් ලබා ගත්හ.

මාතර දිස්ත්‍රික්කයේ
1.පළමු ස්ථානය මාතර කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයටත්,
2.දෙවන ස්ථානය දික්වැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයටත්,
3.තෙවන ස්ථානය වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයටත් හිමි විය.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ
1.පළමු ස්ථානය තංගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයත්,
2.දෙවන ස්ථානය තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයත්,
3.තෙවන ස්ථානය අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයත් දිනා ගත්හ.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ්, නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත්, දකුණු පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සුසිරිපාල මානවඩු, පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් ප්‍රේමනාත් සහ පළාතේ මහජන නියෝජිතයෝද, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති අරමුදලේ ලේකම් රෝෂන් ගමගේ සහ දිස්ත්‍රික් ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා.