කර්මාන්ත ක්ෂේත්රයේ කාලීන අවශ්යතා සහ අනාගත ප්රවණතා අනුව ඉංජිනේරු අධ්යාපන ප්රතිපත්තිය සකස් කළයුතු බව අගමැතිනිය අවධාරණය කර තිබෙනවා.
ඉංජිනේරු අධ්යාපනය සඳහා ජාතික ප්රතිපත්තියක් සකස් කිරීමට පත් කරන ලද විශේෂඥ කමිටුව පසුගිය 28 වැනි දින ඉසුරුපාය අධ්යාපන, උසස් අධ්යාපන සහ වෘත්තීය අධ්යාපන අමාත්යාංශ පරිශ්රයේදී ප්රථම වරට රැස්වූ අවස්ථාවේදී අධ්යාපන, උසස් අධ්යාපන සහ වෘත්තීය අධ්යාපන අමාත්ය, අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව ප්රකාශ කර තිබෙනවා.
ශ්රී ලංකාවේ ජාතික අවශ්යතාවලට ගැළපෙන, ගුණාත්මක හා ඵලදායී ඉංජිනේරු අධ්යාපන පද්ධතියක් ගොඩනැගීමේ අරමුණින් අධ්යාපන, උසස් අධ්යාපන හා වෘත්තීය අධ්යාපන අමාත්යතුමියගේ උපදෙස් පරිදි අමාත්යාංශ ලේකම් නාලක කලුවැව මහතා විසින් මෙම විශේෂ කමිටුව පත් කර තිබෙනවා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්රාමාත්යවරිය, ඉංජිනේරු අධ්යාපන ක්ෂේත්රය යනු ඉංජිනේරුවන් බිහි කිරීමට පමණක් සීමා නොවූ, තාක්ෂණික ශිල්පීන් සහ සහායක කාර්ය මණ්ඩලය ඇතුළු විවිධ වෘත්තීය කාණ්ඩ රැසක් නියෝජනය වන පුළුල් ක්ෂේත්රයක් බව අවධාරණය කර සිටියා. එම සියලු වෘත්තීය අවශ්යතා ආවරණය වන පරිදි මෙරට තෘතීයික අධ්යාපන පද්ධතිය ප්රතිසංවිධානය කිරීමේ වැදගත්කම ද ඇය වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා. .
කෘත්රිම බුද්ධිය (AI) ඇතුළු නව තාක්ෂණික ප්රවණතා හමුවේ, ඉංජිනේරු හා තාක්ෂණික අධ්යාපනය වර්තමාන සහ අනාගත අවශ්යතාවලට ගැළපෙන පරිදි ස්ථාවරව සකස් කළ යුතු බව ඇය සඳහන් කළ අතර, ඒ සඳහා කර්මාන්ත ක්ෂේත්රයේ වෙනස්කම්වලට අනුකූලව පාඨමාලා යාවත්කාලීන කිරීමේ වැදගත්කම ද පෙන්වා දුන්නා.
නව අධ්යාපන ප්රතිසංස්කරණ යටතේ වෘත්තීය අධ්යාපන ධාරාවන් හඳුන්වා දීමත් සමඟ තෘතීයික අධ්යාපන පද්ධතිය ද ඊට ගැළපෙන පරිදි වෙනස් විය යුතු බව සඳහන් කළ අග්රාමාත්යවරිය ඒ අනුව සිසුන්ට අධ්යාපනයට පිවිසීමටත්, අවශ්ය අවස්ථාවලදී වෙනත් අධ්යාපන මාර්ග වෙත යොමු වීමටත් හැකි නම්යශීලී ක්රමවේද සකස් කිරීමේ අවශ්යතාව ද පෙන්වා දුන්නා. සිසුන්, කර්මාන්ත ක්ෂේත්රය, විශ්වවිද්යාල ඇතුළු සියලු පාර්ශ්වයන්ගේ අදහස් හා යෝජනා ලබා ගැනීමෙන් අනතුරුව සෑම පාර්ශ්වයක ම එකඟතාව මත ඉංජිනේරු අධ්යාපනය සම්බන්ධයෙන් ජාතික ප්රතිපත්තිය සකස් කළ යුතු බව ද ඇය අවධාරණය කර තිබෙනවා.
මෙම අවස්ථාව සඳහා කමිටු සභාපති, මොරටුව විශ්වවිද්යාලයේ උපකුලපති මහාචාර්ය කේ. වී. එම්. උදයංග හේමපාල මහතා ඇතුළු කමිටු සාමාජිකයෝ සහභාගී වී සිටි බවට වාර්තාවෙනවා.
