රුපියල් හැත්තෑ ලක්ෂ පනස් දහසක් වටිනා චීනයේ නිෂ්පාදිත දුම්වැටි තොගයක්, නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ සැකකරුවන් තිදෙනෙක් අද (27) දහවල් ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස රැගෙන ආ දුම්වැටි කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ, කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති “හරිත මාවත” (Green Channel) ඔස්සේ පිටකර ගෙන යාමට තැත් කිරීමේදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23 සහ 32 අතර පසුවන තිදෙනෙක්.
ඔවුන් මෙම දුම්වැටි තොගය චීනයෙන් මිළදී ගෙන, මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර වෙත පැමිණ, එතැන් සිට එයාර් ඒෂියා ගුවන් සේවයේ ඒ.කේ.- 045 දරන ගුවන් යානයෙන් අද (27) දින දහවල් 12.15 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
එහිදී ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු 03 ක් තුළ, චීනයේ නිෂ්පාදිත විවිධ වර්ගයේ දුම්වැටි 47,000ක් අඩංගු දුම්වැටි කාටූන් 235ක් සගවා ගෙන සිටිය දී සොයාගෙන තිබෙනවා.
කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මේ පිළිබද විධිමත් රේගු පරීක්ෂණයක් සිදුකර, එම දුම්වැටි සියල්ල රාජසන්තක කර, මොවුන් තිදෙනාට රුපියල් 175,000 ක දඩ මුදලක් ගෙවන ලෙස ද නියෝග කර තිබෙනවා.










