Rajapura Handi Oil
Rajapura Diabetic Powder

නවකවදය නිසා මෙලොව හැරගිය බව කියන චරිත්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට දින ලැබෙයි

බරපතළ නවකවද සිද්ධියකට මුහුණ දීම හේතුවෙන් සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවන වසරේ සිසුවෙකු වූ චරිත් දිල්ෂාන් දයානන්ද ඉකුත් 2025 වසරේ අප්‍රේල් මස 29 වැනිදා සියදිවි නසා ගත් බව කියන සිද්ධියට අදාළව ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණ අද (20) දින නියම කළා.

ඒ අනුව ලබන වසරේ අප්‍රේල් 27 වැනිදා අදාළ පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළා.

ඒ එම පෙත්සම අචල වෙන්ගප්පුලි, සම්පත් අබේකෝන් සහ සම්පත් විජේරත්න යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වන ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් ඉදිරිපත් කළ මූලික කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි.

මෙම සිය දිවි නසා ගැනීමේ සිද්ධිය මගින් මූලික අයිතිවාසිකම් කඩ වන බවට නියෝගයක් ලබාදෙන ලෙසද, විශ්වවිද්‍යාල ඇතුළු රාජ්‍ය අධ්‍යාපන ආයතන තුළ නවකවදය පිටු දැකීමේ වැඩපිළිවෙලක් සකස් කරන ලෙස බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙසද මෙම පෙත්සම මගින් ඉල්ලා තිබෙනවා.

කොට කලිසමකින් සැරසී සිටී අවස්ථාවේ සිදුවූ නවකවද සිද්ධියකින් ඇති වූ සිත් තැවුලක් හේතුවෙන් සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවන වසරේ සිසුවෙකු වූ, ගම්පොළ අටභාගේ ප්‍රදේශයේ පදිංචි චරිත් දිල්ෂාන් දයානන්ද සිය දිවි හානි කර ගෙන ඇති බව අනාවරණය වූ බව පෙත්සම මගින් පෙන්වා දී තිබුණා.

සබරගමුව විශ්ව විද්‍යාලය, එහි උපකුලපතිවරයා ඇතුළු පාලක සභාවේ සාමාජිකයින්, උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්, ආරක්ෂක ලේකම්, පොලිස්පතිවරයා, නීතිපතිවරයා ඇතුළු 69 දෙනෙකු මෙහි වග උත්තර කරුවන් ලෙස නම් කර සිටිනවා.