අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට සිය නිල නිවස තුළදී බරපතළ ලිංගික අපරාධයක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා, මහාධිකරණයෙන් දැඩි ඇප කොන්දේසි මත මුදාහැර සිටින අතරතුර, වෙනත් සමාන චෝදනාවකට අදාළව කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුව රක්ෂිත බන්ධනාගාරගතව සිටින විත්තිකාර හිටපු යුද හමුදා සෙබළාට අනුරාධපුර මහාධිකරණය මඟින් මීට පෙර නියම කර තිබූ ඇප අවලංගු කිරීමට උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු ඉන්දික අත්තනායක නියෝග කළා.
මෙම සිද්ධියට අදාළ නඩුව අනුරාධපුර මහාධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ හිමාලි ජයනෙත්ති අධිකරණයට කරුණු දක්වමින් පැවසුවේ, වෛද්‍යවරියට ලිංගික අපරාධයක් කිරීමේ සිද්ධියට අදාළව මහාධිකරණයෙන් දැඩි ඇප කොන්දේසි මත මුදාහැර සිටින අතරතුර විත්තිකරු සමාන වරදක් සිදු කිරීමේ චෝදනාවට ගල්නෑව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන, කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ වන විට යළි රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවයි.
ඒ, අනුව විත්තිකරු මහාධිකරණය මගින් පෙර නියම කළ ඇප කොන්දේසි කඩ කර ඇති බව ද දැනුම් දුන් රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය, මෙම කරුණු සැලකිල්ලට ගෙන විත්තිකරුගේ පෙර ඇප අවලංගු කර නඩු විභාගය අවසන් වන තුරු යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා සිටියා.
විත්තිකරු වෙනුවෙන් කරුණු දක්වමින් නීතිඥ සුරංග මොහොට්ටි කියා සිටියේ, විත්තිකරුට ඇප නියම කළ අවස්ථාවේ අධිකරණය ඉතා සාධාරණව අවධානය යොමු කොට ඔහුට ඇප නියම කළ බවයි.
එහෙත් විත්තිකරු වෙනුවෙන් පෙනී සිටීමේ යම් සීමාවක් තමාට පවතින බව ද සඳහන් කළ නීතිඥවරයා, විත්තිකරු වෙනත් නඩුවකට අදාළව කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුව රිමාන්ඩ් බන්ධනාගාරගත කර ඇති බවත්, ඒ අනුව විත්තිකරුගේ ඇප අවලංගු කරන්නේ ද නැද්ද යන්න අධිකරණයේ අභිමතය පරිදි සුදුසු නියෝගයක් ලබාදෙන ලෙසත් ඉල්ලා සිටයා.
විත්තිකරුට පෙර නියම කර තිබූ ඇප අවලංගු කිරීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කිරීමෙන් අනතුරුව, නඩුවේ 4 වන සාක්ෂිකාරිය ලෙස නම් කර සිටි, වින්දිත වෛද්‍යවරිය සේවය කළ අනුරාධපුර ශික්ෂණ රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියක් සහ රජරට විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක්, රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ හිමාලි ජයනෙත්තිගේ සාක්ෂි මෙහෙයවීම මත පැයකට අධික කාලයක් සාක්ෂි ලබා දුන්නා.










