Rajapura Handi Oil
Rajapura Diabetic Powder

ඉන්දියාවේ අන්දමන් දූපත් විදුලියෙන් බලගැන්වීමේ අවස්ථාව ලංකාවේ ලක්දනවි සමාගමට

ඉන්දියාවේ අන්දමන් දූපත්හි මෙගාවොට් 57ක විදුලි බලාගාරයක් ඉදිකිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 75ක කොන්ත්‍රාත්තුව දිනාගැනීමට ලක්දනවි සමාගම සමත්ව තිබෙනවා.

ඉන්දීය රජයට අයත් National Thermal Power Corporation (NTPC) Limited හි පූර්ණ අනුබද්ධ සමාගමක් වන NTPC Vidyut Vyapar Nigam Limited (NVVN) විසින් කැඳවූ තරගකාරී ජාත්‍යන්තර ටෙන්ඩර් (ICB) ක්‍රියාවලියේදී අවම ලංසුව ඉදිරිපත් කරමින් ලක්දනවි සමාගම මෙම අවස්ථාව උදාකරගෙන තිබීමද විශේෂත්වයක්.

ඒ අනුව, මෙගාවොට් 57ක (57 MW) ස්වාභාවික වායු මත පදනම් වූ විදුලි බලාගාරයක් ඉදිකිරීම සඳහා ආසන්න වශයෙන් රුපියල් බිලියන 25ක (ඇමරිකානු ඩොලර් මිලියන 75ක්) වටිනා ඉංජිනේරු – ප්‍රසම්පාදන සහ ඉදිකිරීම් (EPC) පූර්ණ වගකීම් සහිත (turnkey) ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා.

NVVN, ලක්දනවි සහ LTL හෝල්ඩිංග්ස් හි ජ්‍යෙෂ්ඨ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් ඉන්දියාවේ නොයිඩා හි NTPC කාර්යාල සංකීර්ණයේදී 2026 සැප්තැම්බර් 21 වන දින මෙම ගිවිසුම අත්සන් කර තිබුණා.

අන්දමන් දූපතේ පෝට් බ්ලෙයාර්හි හෝප් ටවුන් (Hope Town) හි පිහිටුවීමට නියමිත මෙම බලාගාරය මඟින් අන්දමන් දූපතේ විදුලි යටිතල පහසුකම් ශක්තිමත් කිරීම, LNG යටිතල පහසුකම් හරහා දිගුකාලීන බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කිරීම සහ අනාගත ආර්ථික සංවර්ධනය පහසු කිරීම අපේක්ෂා කෙරෙනවා.

ෆින්ලන්තයේ Wärtsilä Corporation සමාගම විසින් මේ සඳහා විදුලි ජනක යන්ත්‍ර සපයනු ලබන අතර, ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ වගකීම ලක්දනවි සමගමේ ඉංජිනේරු කණ්ඩායම විසින් දරනු ලබනවා.

මෙම ගිවිසුමෙන් ලක්දනවි සමාගම ඉන්දියාවේ විදුලි බලාගාර ඉංජිනේරු – ප්‍රසම්පාදන සහ ඉදිකිරීම් (EPC) වෙළෙඳපොළට පිවිසීම සනිටුහන් වන අතර, සමාගමේ කලාපීය ව්‍යාප්තිය ද තවදුරටත් පුළුල් කරගෙන තිබෙනවා.

විදුලි උත්පාදනය, සම්ප්‍රේෂණය සහ බෙදාහැරීම යන ක්ෂේත්‍රයන්හි නියැලී සිටින LTL හෝල්ඩිංග්ස් ශ්‍රී ලංකාවේ විශාලතම බලශක්ති සමාගම වන අතර, එහි කොටස්වලින් 35%ක හිමිකාරීත්වය වර්තමානයේ බලශක්ති අමාත්‍යාංශය යටතේ පවතින NTNSP (National Transmission Network System Provider (Pvt) Ltd) ආයතනය සතු වනවා.

LTL හෝල්ඩිංග්ස් හි අනුබද්ධ සමාගමක් ලෙස 90 දශකයේ අගභාගයේ ශ්‍රී ලංකාවේ ස්ථාපිත කරන ලද ලක්දනවි සමාගමට, ස්වාධීන බලශක්ති නිෂ්පාදකයෙකු (IPP) ලෙස විදුලි උත්පාදනය සම්බන්ධයෙන් මෙන්ම තාප සහ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා මෙහෙයුම් හා නඩත්තු (O&M) විසඳුම් සැපයීම සම්බන්ධයෙන් ද දශක ගණනාවක පළපුරුද්දක් තිබෙනවා.

එසේම ලක්දනවි සමාගමට බංග්ලාදේශය, නේපාලය සහ මාලදිවයින යන විදේශීය රටවලද විදුලි බල ව්‍යාපෘති ක්‍රියාත්මක කළ පළපුරුද්ද තිබෙනවා.

මෙම සුවිශේෂී ව්‍යාපෘතිය හරහා ඉන්දු – ශ්‍රී ලංකා ආර්ථික සහයෝගීතාව සඳහා නව අවස්ථා විවර වී තිබෙනවා.

LTL හෝල්ඩිංග්ස් කළමනාකාරීත්වය සමඟ පැවති හමුවකදී මෙරට බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා, මෙම ජයග්‍රහණය පිළිබඳව රජයේ ඉමහත් සතුට හා ප්‍රශංසාව පළ කර තිබුණා.

ඉන්දියාව වැනි විශාල හා අතිශයින් තරගකාරී වෙළෙඳපොළක ප්‍රධාන පෙළේ යටිතල පහසුකම් කොන්ත්‍රාත්තුවක් ශ්‍රී ලාංකික සමාගමකට හිමිවීමද අමාත්‍යවරයාගේ ඇගයීමට ලක්ව තිබෙනවා.

එයින්ද මෙම ජයග්‍රහණයේ ජාතික වැදගත්කම මෙන්ම ශ්‍රී ලාංකික සමාගම් තම සුවිශේෂී විශේෂඥතාව ජාත්‍යන්තර වෙළෙඳපොළවලට සාර්ථකව රැගෙන යාමේ වැදගත්කම තහවුරු කරනවා.

මේ පිළිබඳව අදහස් දක්වමින් ලක්දනවි සහ LTL හෝල්ඩිංග්ස් හි ප්‍රධාන විධායක නිලධාරී ඉංජිනේරු නුහුමාන් මරික්කාර් සඳහන් කළේ, මෙය ලක්දනවි සමාගමට සුවිශේෂී සන්ධිස්ථානයක් මෙන්ම සමස්ත ශ්‍රී ලාංකික ඉංජිනේරු ක්ෂේත්‍රයටම ලැබුණු කැපී පෙනෙන ජයග්‍රහණයක් බවයි.

සමාගමේ තාක්ෂණික හැකියාවන්, කණ්ඩායමේ කැපවීම සහ දේශීය වෙළෙඳපොළේ මෙන්ම විදේශයන්හි ද සංකීර්ණ විදුලි යටිතල පහසුකම් ව්‍යාපෘති සාර්ථකව නිම කිරීමට ඇති හැකියාව කෙරෙහි තබා ඇති විශ්වාසය මෙම ගිවිසුමෙන් මනාව පිළිබිඹු වන බවද ඔහු පෙන්වා දුන්නා.

තවද ව්‍යාපෘතිය සාර්ථකව නිම කිරීමට NVVN සමඟ සමීපව කටයුතු කිරීමට ලක්දනවි සමාගම බලාපොරොත්තු වන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

මෙම ව්‍යාපෘතිය එක් අතකින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින දිගුකාලීන ආර්ථික සබඳතාවල ද ප්‍රායෝගික ප්‍රකාශනයකි. ඉන්දු – ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික ආර්ථික කටයුතු ආශ්‍රිතව බොහෝ විට දැක ගන්නට ලැබෙන්නේ ශ්‍රී ලංකාව තුළ ඉන්දියාව විසින් ආයෝජන, සංවර්ධන ආධාර සහ යටිතල පහසුකම් සඳහා සහභාගීත්වයක් සිදු කරන ආකාරයක්.

එහෙත් ලක්දනවි සමාගමේ මෙම සාර්ථකත්වය මගින් අවස්ථා දෙපාර්ශ්වයටම තිබෙන බවත් ශ්‍රී ලාංකේය සමාගම් ඒවා කැපවීමෙන් ප්‍රයෝජනයට ගත යුතු බවත් පෙන්නුම් කරනවා.

මෙම කොන්ත්‍රාත්තුව මගින් ශ්‍රී ලාංකේය ව්‍යාපාරවලට තම කුසලතා සහ හැකියාවන් දෙරටෙහි අන්‍යෝන්‍ය සංවර්ධනයට දායක කර ගත හැකි ආකාරයත් දෙරටෙහි රාජ්‍යයන් අතර පවතින සමීප සහයෝගීතාව පෞද්ගලික අංශයේ ප්‍රායෝගික හවුල්කාරීත්වයන්ගෙන් ශක්තිමත් කළ හැකි ආකාරයත් පෙන්වා දෙනවා.