Rajapura Handi Oil
Rajapura Diabetic Powder

බුදුරුවකන්දේ කාවන්තිස්ස ඇත් රජුගේ ජීවමාන පිළිරුවක්

කාවන්තිස්ස ඇත් රජු මියගොස් මාසයක් සපිරෙද්දී බුදුරුවකන්දේ කාවන්තිස්ස ඇත් රජුගේ ජීවමාන පිළිරුවකට මුල්ගල් තැබීමට සුවිශේෂී මෙහෙවරක් දියත්කර තිබෙනවා.

ගල්ගමුවේ කාවන්තිස්ස ඇත් රජු මියගොස් මාසයක් සම්පූර්ණ වීමට ආසන්නව තිබියදී, ඔහුගේ මතකය සදාකාලික කිරීමේ සුවිශේෂී වැඩපිළිවෙළක් වශයෙන් , ඔහු ජීවත් වූ බුදුරුවකන්ද ගම්මානයේ ඓතිහාසික රජමහා විහාරස්ථාන පරිශ්‍රයේදී කාවන්තිස්ස ඇත් රජුගේ ජීවමාන පෙනුමැති පිළිරුවක් නිර්මාණය කිරීම සඳහා අද පෙරවරුවේ මුල්ගල් තැබීම සිදුවුණා.

බුදුරුවකන්ද රජමහා විහාරාධිපති ශාස්ත්‍රපති, විශ්‍රාමලත් පාඨශාලාචාර්ය හේරත්ගම සිරි උපනන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන්, විහාරවාසී පන්නල අමිතානන්ද හිමියන් ප්‍රමුඛ කාවන්තිස්ස පදනම විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණා.

කාවන්තිස්ස ඇත් රජු වසර ගණනාවක් පුරා ගැටදිවුල රක්ෂිතය වෙත මාර්ගය හරහා මාරුවීමේදී ඔහුට සහයෝගය ලබාදුන් පුද්ගලයෙකු ලෙස ප්‍රදේශවාසීන් හඳුනාගෙන සිටින කුමාර විසින් පිළිරුව ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම සිදු කෙරුණා.

කිසිදු දේශපාලනඥයෙකු මේ සඳහා සම්බන්ධ කර නොගෙන, ආගමික නායකත්වය හා ප්‍රදේශවාසීන්ගේ සහභාගිත්වයෙන් එය ආරම්භ කර තිබුණු අතර, විවිධ ප්‍රදේශවලින් පැමිණි ජනතාව මෙන්ම විහාරස්ථානයේ දායක පිරිස ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

සෙනරත්ගම තුරු වදුල පරිශ්‍රයේදී දළ පුට්ටුවා ඇතාගේ සහ සියඹලන්ගමුව ඇතාගේ සජීවී ස්වරූපයට සමීප නිර්මාණ සිදුකළ අත්දැකීම් සහිත, ප්‍රවීණ මූර්ති ශිල්පියෙකු මෙන්ම ගුරු උපදේශකවරයෙකු ද වන ජේ. රත්නායක වෙත කාවන්තිස්ස ඇත් රජුගේ පිළිරුව තාත්වික අයුරින් නිර්මාණය කිරීමේ කාර්යය පවරා තිබෙනවා.

මේ අතර කාවන්තිස්ස ඇත් රජුගේ මතකය අනාගත පරපුරට ද සමීප කරවීමේ අරමුණින් අද දිනයේදී බුදුරුවකන්ද ජාතික පාසලේදී දහම් පාසල් දරුවන් සඳහා කාවන්තිස්ස ඇතාගේ රුව චිත්‍රණය කිරීමේ තරඟයක් ද පවත්වා, ජයග්‍රහණය කරන දරුවන් සඳහා ත්‍යාග පිරිනැමීමට ද කාවන්තිස්ස කමිටුව කටයුතු කළා.

එමෙන්ම කාවන්තිස්ස ඇත් රජු මියගොස් මාසයක් සම්පූර්ණ වීම නිමිත්තෙන්, බෞද්ධයා නාලිකාවේ විචිත්‍ර ධර්ම කථික රාජාංගණයේ සුමනසාර ස්වාමීන් වහන්සේ විසින්, හෙට (16) පස්වරුවේ ඔහුට පින් අනුමෝදන් කිරීමේ ධර්ම දේශනාවක් පැවැත්වීමටද, ඊට සමගාමීව අනිද්දා (17) මහා සංඝරත්නය විෂයෙහි දානමය පින්කමක් පැවැත්වීමට ද කාවන්තිස්ස කමිටුව කටයුතු සංවිධානය කර තිබෙනවා.