2027 වසරේ සිට 06 ශ්‍රේණිය විෂයමාලාවට ව්‍යවසායකත්වය සහ මූල්‍ය සාක්ෂරතාව යන විෂය හඳුන්වාදීමට කටයුතු කරන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.
2026 නොවැම්බර් 10 වන දින ඉසුරුපාය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවැති සමස්ත ලංකා වාණිජ දැනුම මිනුම හා ව්‍යවසායකත්ව කුසලතා තරගාවලියේ ජයග්‍රාහකයන් ඇගයීමේ සහ වාණිජ අධ්‍යාපනය සඳහා ක්‍රියාකාරකම් පාදක ඉගෙනුම් මධ්‍යස්ථාන ආරම්භ කිරීමේ වැඩසටහනට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළා.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් ප්‍රථම වරට සංවිධානය කරන ලද සමස්ත ලංකා වාණිජ දැනුම මිනුම හා ව්‍යවසායකත්ව කුසලතා ඇගයීමේ තරගාවලියේ ජයග්‍රාහක සිසු සිසුවියන් ඇගයීමට ලක් කරමින් සම්මාන හා සහතිකපත් ප්රදානය කිරීම අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් මෙහිදී සිදුකෙරුණා.
වාණිජ අධ්‍යාපනය වඩාත් ප්‍රායෝගික හා ක්‍රියාකාරකම් පාදක ඉගෙනුම් ක්‍රියාවලියක් බවට පත් කිරීමේ අරමුණින් කලාපීය ඉගෙනුම් මධ්‍යස්ථාන පිහිටුවීමේ වැඩසටහන ද මෙහිදී ආරම්භ කෙරුණා.
2026 සිට 2028 දක්වා අදියර තුනක් යටතේ දිවයින පුරා මධ්‍යස්ථාන 100ක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති අතර, එහි පළමු අදියර යටතේ මේ වසරේදී දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි මධ්‍යස්ථාන 25ක් ආරම්භ කිරීමට නියමිතයි.
මීට සමගාමීව වාණිජ විෂය ක්ෂේත්රයට අදාළ මූලික විෂයානුබද්ධ උපකාරක සංග්‍රහයන් කිහිපයක් සහ නව ඉගෙනුම් ක්‍රමවේද ඇතුළත් මොඩියුල සංග්‍රහයක් ද එළිදක්වනු ලැබුවා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය කියා සිටියේ, මෙතෙක් කල් සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ වාණිජ ධාරාවට පමණක් සීමා වී තිබූ වාණිජ අධ්‍යාපනය, 2027 වසරේ සිට 6 ශ්‍රේණිය සිටම ක්‍රියාත්මක වන පුළුල් ජීවන කුසලතාවක් ලෙස පාසල් පද්ධතියට ඇතුළත් කිරීම රටේ ජනතාවගේ මූල්‍ය සාක්ෂරතාව දියුණු කිරීම සඳහා සාර්ථක ප්‍රවේශයක් ලබා දෙන බවයි.
එසේම මූල්‍ය වංචාවලින් ජනතාව ආරක්ෂා කිරීමේ අරමුණින් මූල්‍ය සාක්ෂරතාවය ජාතික මට්ටමින් ඉහළ නැංවීමේ අවශ්‍යතාවය පිළිබදව ද අග්‍රාමාත්‍යවරිය මෙහිදී අවධාරණය කළා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ, සියලු දෙනා ව්‍යාපාරිකයන් බවට පත් කිරීම රජයේ අරමුණ නොවන නමුත්, රටේ ආර්ථික ක්‍රියාවලියට වැඩි පිරිසකගේ සක්‍රීය දායකත්වය ලබාගැනීම නිෂ්පාදන ආර්ථිකයක් ශක්තිමත් කිරීම සඳහා අත්‍යවශ්‍ය වන බවයි.
එමෙන්ම, හුදෙක් ලාභය අරමුණු කරගත් ව්‍යවසායකත්වයකින් ඔබ්බට ගොස්, පරිසරයට ආදරය කරන, මානුෂීය ගුණාංගවලින් සහ සමාජ වගකීමෙන් යුත් සාරධර්ම පදනම් කරගත් ව්‍යවසායකයන් බිහිකිරීම රජයේ අපේක්ෂාව බව ද අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළා.
