ත්‍රිකුණාමලය වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු අල්ලයි

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ දී පසුගිය 02 වනදා රාත්‍රියේ ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයන් තිදෙනකුට වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකා මාතර කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත ඊයේ (06) දික්වැල්ල, උරුගමුව ප්‍රදේශයේ දී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු උරුගමුව, වැහැල්ල ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි වියේ පසුවන අයෙක්.

පසුගිය 02වනදා රාත්‍රියේ ත්‍රිකුණාමලය, කප්පල්තුරේ ප්‍රදේශයේ සිදුවූ මෙම වෙඩි තැබීමෙන් එක් අයෙක් මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණා.

මෙම වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත් වුණේ නාවික හමුදා සාමාජිකයෙක්වන අතර ඔහු, නිවාඩු ලබා පැමිණ සිටි අවස්ථාවේ කුලී ත්‍රිරෝද රථ රියදුරෙක් ලෙස කටයුතු කරමින් සිටිය දී වෙඩික්කරුගේ ඉලක්කය වැරදී මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව තිබුණා.