කොළොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක් ගොඩ කිරීමට අනුමැතිය ලබාදීම සඳහා ව්‍යාපාරිකයකුගෙන් රුපියල් මිලියන 64ක කප්පම් මුදලක් ඉල්ලා තර්ජනය කිරීමේ සිද්ධියට වරදකරු වූ බස්නාහිර පළාත් මහ ඇමැතිවරයාව සිටි හිටපු ඇමතිවරයෙක් වන ප්‍රසන්න රණතුංගට කොළඹ මහාධිකරණය නියම කළ රුපියල් මිලියන 25ක දඩයෙන් කොටසක් (ලක්ෂ 90) අද දින ගෙවීමට හිතව තිබුණද අද නඩුව කැඳවූ අවස්ථාවේදී හිටපු අමාත්‍යවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ඒ සඳහා තවත් කාලය ලබා දෙන ලෙසයි.
එහිදී ප්‍රසන්න රණතුංග සිය නීතිඥවරයා මගින් ඉල්ලා සිටියේ ඉතුරු කොටස ගෙවීමට තවත් කාලයක් ලබා දෙන ලෙසයි.
ඒ අනුව, මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග නියෝග කළේ ලබන වසරේ පෙබරවාරි 01 වැනිදා ඉතිරි මුදල ගෙවීම සඳහා යළි නඩුව කැඳවන බවයි.
හිටපු ඇමැති ප්‍රසන්න රණතුංගට එරෙහිව මෙම නඩුව පවරා තිබුණේ 2015 වසරේ අප්‍රේල් 10 වැනිදා ඉඩමක් ගොඩකිරීමට අවසර දීම සඳහා එස්. ක්‍රිස්ටියන් ගිහාන් මෙන්ඩිස් නමැති මොරටුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගෙන් රුපියල් මිලියන 64ක මුදලක් ඉල්ලා ඉන් රුපියල් මිලියන 15ක් ලබා ගනිමින් බියගන්වා මුදල් අයකිරීමේ චෝදනාවටයි.
ප්‍රසන්න රණතුංගට අමතරව ඔහුගේ බිරිය වන මොරිස් ස්ටෙලා රණතුංග සහ නරේන් කුමාර් ෆාරික් යන අය විත්තිකරුවන් ලෙස නම්කර අධිචෝදනා 05ක් යටතේ කොළඹ මහාධිකරණය ඉදිරියේ නීතිපතිවරයා මෙම නඩු පවරා තිබෙනවා.
චුදිතයන්ට විරුද්ධව දණ්ඩ නීති සංග්‍රහයේ 113 (අ), 102, 373 යටතේ චෝදනා ගොනුකිරීම සිදුවුණා.
3 වැනි විත්තිකරු වන කුමාර් ෆාරික් නඩුවට ඉදිරිපත් නොවීය. එම නිසා අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ 241 වැනි වගන්තිය යටතේ චුදිත නොමැතිව නඩුව විමසනු ලැබුවා.
නඩු විභාගයේදී පැමිණිල්ල වෙනුවෙන් එස්. ක්‍රිස්ටියන් ගිහාන් මෙන්ඩිස් නමැති ව්‍යාපාරිකයා ඇතුළු සාක්ෂිකරුවන් 7 දෙනකු ඉදිරිපත් විය. අනතුරුව විත්තිය වෙනුවෙන් 2 වැනි විත්තිකාර ස්ටෙලා රණතුංග විත්ති කූඩුවේ සිට ප්‍රකාශයක් කළා.
මෙයට අමතරව ආර්.පී. නුවන් රාජපක්ෂ යන අය විත්තිය වෙනුවෙන් සාක්ෂි දෙනු ලැබුවා.
මෙම නඩුව විභාග කළ කොළඹ මහාධිකරණය 2022 ජූනි 06 වැනිදා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ප්‍රසන්න රණතුංග වරදකරු බව තීන්දු කළා.
චූදිතයාට බරපතළ වැඩ සහිතව වසර 02ක සිර දඬුවමක් නියම කළ අධිකරණය එය වසර 5කට අත්හිටවූවා.
මීට අමතරව රුපියල් මිලියන 25 ක දඩයක් සහ අගතියට පත් ව්‍යාපාරිකයාට රුපියල් මිලියනයක වන්දි මුදලක් ගෙවන ලෙසත්, දඩ මුදල නොගෙවන්නේ නම් තවත් වසර නවයක සිර දඬුවමක් පනවන ලෙසත් අධිකරණය නියම කළේය. නඩුවේ දෙවැනි විත්තිකාරිය වූ චුදිතගේ බිරිය නිදහස් කෙරුණා.
කොළඹ මහාධිකරණය නිකුත් කළ නියෝගයට එරෙහිව විත්තිකරු අභියාචනයක් ඉදිරිපත් කළා.
එම පෙත්සම මායාදුන්නේ කොරයා, පී. කුමාරන් රත්නම්, ශශී මහේන්ද්‍රන්, දමිත් තොටවත්ත සහ අමල් රණරාජා මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා පෙත්සම්කාර ප්‍රසන්න රණතුංග මහතා වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළා.
තම සේවාදායකයාට නියම වී තිබෙන වන්දි මුදල් සහ දඩ මුදල ගෙවීමට කාලය ලබාදෙන්නේ නම් මේ අභියාචනය ඔහු විසින් ඉල්ලා අස්කර ගැනීමට සූදානම් බව ජනාධිපති නීතිඥවරයා එහිදී සඳහන් කර සිටියා.
එම ඉල්ලීමට විරුද්ධ වන්නේ දැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අසාද් නවාවි සහ අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්නගෙන් විනිසුරු මඬුල්ල විමසීමක් කළා.
ඊට තමන් විරුද්ධ නොවන බව ද, අධිකරණයට පැවරී තිබෙන බලතල අනුව සුදුසු නියෝගයක් නිකුත් කරන ලෙස ද එම නීතීඥවරු එහිදී සඳහන් කර සිටියා.
ඒ අනුව අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අධිකරණය අවසර දුන්නා.
ඒ අනුව එම ලක්ෂ 250 මුදලින් තවත් ලක්ෂ අනුවක් පමණක් ගෙවීමට ඉතිරිව තිබේ.
