Update – දකුණූ මුහුදේදී මාට්ටු වූ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම බිලියන 4.2කට ආසන්නයි

ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 189යි ග්‍රෑම් 246ක පමණ තොගයක් අඩංගු 10ක් ප්‍රවාහනය කළ දේශීය බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් 05 දෙනෙකු නාවික හමුදා භාරයට ගනු ලැබු අතර, එම මත්ද්‍රව්‍ය තොගය රැගත් බහුදින ධීවර යාත්‍රාව සහ සැකකරුවන් ඉදිරි නීතිමය හා විමර්ශන කටයුතු සඳහා අද (05) උදෑසන දික්ඕවිට ධීවර වරාය වෙත ගෙන එනු ලැබුවා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ විශේෂඥ සහය සහිතව මෙම මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් එහිදී සිදුකළ වැඩිදුර පරීක්‍ෂාවේදී, එම මත්ද්‍රව්‍ය තොගයෙහි පාර්සල් 100ක අසුරන ලද අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) කිලෝ 132යි ග්‍රෑම් 26ක පමණ තොගයක් හමුව තිබෙනවා.

එමෙන්ම පාර්සල් 52ක අසුරන ලද හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 57යි ග්‍රෑම් 220ක පමණ තොගයක් ඇති බවට තහවුරු වුණා.

එම මත්ද්‍රව්‍ය තොගයේ දල වීථි වටිනාකම රුපියල් බිලියන 4.2 කට (කෝටි 420) අධික බවට විශ්වාස කෙරෙන අතර, මත්ද්‍රව්‍ය තොගය සහ බහුදින ධීවර යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දීමට නියමිතයි.

මෙම මත්ද්‍රව්‍ය තොගය නිරික්‍ෂණය සඳහා නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය, මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික), නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු, අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් චමින්ද කරුණාසේන සහ බටහිර නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු අරුණ විජේවර්ධන ඇතුළු නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියා.

එහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා, ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීමට සමඟාමීව, ‘රටම එකට’ ජාතික මෙහෙයුම වෙනුවෙන් මත්ද්‍රව්‍ය සැපයීම අඩාල කිරීම සඳහා සමුද්‍රීය කලාපය ආවරණය වන පරිදි තීව්‍ර මෙහෙයුම් නාවික හමුදාව නිරන්තරයෙන් ක්‍රියාත්මක කරනු ලබන බවත්, නාවික හමුදාව ගැඹුරු මුහුදේ සිදුකළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 189කට අධික තොගයක් නීතියේ රැහැනට හසුකර ගැනීමට සමත් වූ බව පවසුවා.

‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ නාවික හමුදාව; වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව, අනෙකුත් සන්නද්ධ හමුදා, පොලීසිය, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ එක්ව, දේශීය හා විදේශීය බුද්ධි අංශ සමඟ තොරතුරු හුවමාරු කර ගනිමින් දිවයිනේ ගොඩබිම සහ මුහුදු කලාප ආවරණය වන පරිදි මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් තීව්‍ර කර ඇති බැවින්, රටතුලට මත්ද්‍රව්‍ය ගෙන ඒමට කිසිදු ඉඩක් නොතබන බව නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යතුමා අවධාරණය කළා.

නාවික හමුදාව පමණක් පසුගිය 2025 වර්ෂයේ රුපියල් බිලියන 75කට අධික දල වීථි වටිනානමකින් යුත් මත්ද්‍රව්‍ය නීතියේ රැහැනට හසුකරගෙන ඇති බවත්, මත්ද්‍රව්‍ය සැපයීම සහ මත්ද්‍රව්‍ය ඉල්ලුම අඩාල කිරීම සඳහා නව නීති සම්පාදනය කරමින් හා තාක්‍ෂණික උපකරණ හා උපාංග ලබා දෙමින් නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන වෙත රජය විසින් ලබා දෙන පහසුකම් හමුවේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ කිසිදු ක්‍රමයකින් මත්ද්‍රව්‍ය රට තුළට රැගෙන ඒමට ඉඩක් නැති බව පැවසූ නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යතුමා, මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් වෙත හා ඒ සඳහා අනුබල දෙන හා පහසුකම් සපයන්නන් වෙත විෂ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ඉවත්වන ලෙස අවධාරණය කළා.

රාජ්‍ය බුද්ධි සේවාව ඇතුළු බුද්ධි සේවාවන් සමඟ තොරතුරු හුවමාරුකර ගනිමින් දින ගණනාවක් ගැඹුරු මුහුදේ ආවේක්‍ෂණ කටයුතු සිදුකර විශාල කැපවීමකින් යුතුව, සාර්ථක මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුමක් සිදුකිරීම සම්බන්ධයෙන්, එම මෙහෙයුම සාර්ථකව සිදුකිරීම සඳහා දායක වූ නාවික හමුදාව සහ අනෙකුත් සියළුම පාර්ශවයන් වෙත ජනාධිපතිවරයා වෙනුවෙන් සහ සමස්ථ මහජනතාව වෙනුවෙන් සිය කෘතඥතාව ඵලකරන බව පැවසූ නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යතුමා, මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් සාර්ථකව සිදුකිරීම සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන වෙත ක්‍ෂණික දුරකථන අංක 1818 හෝ 1997 ඔස්සේ තොරතුරු ලබා දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිමින්, මත්ද්‍රව්‍ය ව්‍යසනය පිළිබඳව සමාජය දැනුවත් කිරීම සඳහා මාධ්‍ය මඟින් සිදුකරනු ලබන කාර්යභාරය අගයන බව පවසනු ලැබුවා.

තවද, මෙම මෙහෙයුමත් සමග, 2025 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ සිට, ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ වී වසරක කාලයකදී ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව සිදුකල මෙහෙයුම් මඟින්, රුපියල් බිලියන 114කට අධික දළ විථි වටිනාකමකින් යුත් විෂ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇති අතර, 2026 වසරේ මේ දක්වා සිදුකළ මෙහෙයුම් මගින් පමණක් රුපියල් බිලියන 73කට අධික දළ විථි වටිනාකමකින් යුත් විෂ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබෙනවා.