ඉන්දීය ගුවන් යානා ප්‍රවාහන නෞකාවක රෆාල් ප්‍රහාරක යානයක් පළමු වරට ගොඩබස්වයි

ඉන්දියාවේ ස්වදේශීයව නිෂ්පාදනය කළ ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් වන අයි.එන්.එස්. වික්‍රාන්ත් නෞකාව මත ප්‍රංශයේ නිෂ්පාදිත රෆාල් එම් ප්‍රහාරක යානයක් පළමු වරට සාර්ථකව ගොඩබස්වා තිබෙනවා.

එම පරීක්ෂණ පියාසැරිය පසුගිය දා සිදුකර ඇති අතර, පළමු උත්සාහයේදීම යානය සාර්ථකව ගොඩබැස්වීමට හැකිවීම ඉන්දීය නාවික හමුදාවේ ගුවන් මෙහෙයුම් සඳහා එම යානා එක් කිරීමේ ක්‍රියාවලියේ වැදගත් පියවරක් ලෙස සැලකෙනවා.

ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය 2025 වසරේ අප්‍රේල් මාසයේදී ඩොලර් බිලියන 7.5ක වටිනාකමකින් යුත් ගිවිසුමකට එළැඹ තිබුණේ නාවික හමුදාව සඳහා රෆාල් යානා 26ක් මිලදී ගැනීමටයි.

ඒ අතරට රෆාල් එම් ප්‍රහාරක යානා 22ක් සහ පුහුණු කටයුතු සඳහා භාවිත කරන ආසන දෙකකින් සමන්විත රෆාල් ඩීඑච් යානා හතරක් ඇතුළත්.

ගිවිසුම යටතේ යානා භාරදීම 2029 වසරේදී ආරම්භ කිරීමට නියමිතයි.