බංග්ලාදේශයේ ඇඟලුම් කර්මාන්තශාලා යළිත් වසා දැමීමට බලධාරීන්ට සිදුව තිබෙනවා.
ඒ, අවම වැටුප් ඉහළ නංවන ලෙස ඉල්ලා සේවකයන් ගෙන යන විරෝධතා ප්‍රචණ්ඩකාරී තත්ත්වයකට පත්වීමත් සමඟයි.
ඉරිදා වසා දැමුණු කර්මාන්තශාලා සඳුදා දිනයේදී යළි විවෘත කෙරුණද, සේවකයන් සහ පොලිසිය අතර ඇති වූ නව ගැටුම් හේතුවෙන් කර්මාන්තශාලා සිය ගණනක නිෂ්පාදන කටයුතු නැවතත් අත්හිටුවා තිබෙනවා.
සේවකයන් ඉල්ලා සිටින්නේ දැනට පවතින මාසික අවම වැටුප වන බංග්ලාදේශ ටකා 12,500ක මුදල ටකා 30,000ක් දක්වා ඉහළ නංවන ලෙසයි.
මෙම ඉල්ලීම මුල් කරගනිමින් විරෝධතාකරුවන් මාර්ග අවහිර කරමින්, කර්මාන්තශාලාවලට හානි සිදුකරමින් ව්රෝධතාවල නිරත වු අතර පොලිසිය සමඟ ද ගැටුම් ඇතිකරගෙන තිබෙනවා.
ඒ හේතුවෙන් කර්මාන්තශාලා 679ක නිෂ්පාදන කටයුතු අත්හිටුවා ඇති බවයි වාර්තා වන්නේ.
ඩකා අගනුවරදී මාර්ග අවහිර කිරීමට උත්සාහ කළ සේවකයන් විසුරුවා හැරීම සඳහා පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබෙනවා.
විරෝධතාකරුවන් පොලිස් නිලධාරීන්ට ගඩොල් සහ ගල්වලින් පහර දී ඇති අතර, පොලිස් රථයකට ගිනි තබා කර්මාන්තශාලා කිහිපයකටද හානි සිදුකර ඇති බව පොලිසිය සහ කර්මාන්ත ක්ෂේත්රයේ නිලධාරීන් පවසනවා.
අගනුවරට ආසන්න ප්‍රධාන කර්මාන්ත කලාප වන අෂුලියා සහ ගාසිපූර් ප්රදේශවලද නොසන්සුන්කාරී තත්ත්වයක් වාර්තා වී තිබෙනවා.
මෙම තත්ත්වය බංග්ලාදේශයේ ඇඟලුම් අපනයනවලට මෙන්ම ජාත්‍යන්තර ගැනුම්කරුවන්ගේ විශ්වාසයටද බලපෑම් එල්ල කරනු ඇති බවට අවධානය යොමුව තිබෙනවා.
විශේෂයෙන්ම එච් ඇන්ඩ් එම්, සාරා, වෝල්මාර්ට් සහ ප්‍රයිමාර්ක් වැනි ප්රමුඛ ජාත්‍යන්තර සන්නාම සඳහා ඇඟලුම් සපයන බංග්ලාදේශය, වසන්ත සහ ගිම්හාන සමයන් සඳහා වන අපනයන ඇණවුම් නිෂ්පාදනය කරන තීරණාත්මක අවස්ථාවකයි මෙම අර්බුදයට මුහුණ දී සිටින්නේ.
චීනයට පසුව ලොව දෙවැනි විශාලතම ඇඟලුම් අපනයනකරු වන්නේ බංග්ලාදේශයයි.
එරට සමස්ත අපනයන ආදායමෙන් සියයට 80කට වැඩි ප්‍රමාණයක් ඇඟලුම් කර්මාන්තයෙන් ලැබෙන අතර, එම ක්ෂේත්රයේ සේවකයන් මිලියන හතරකට ආසන්න පිරිසක් සේවයේ නිරතව සිටිනවා. එය එරට ආර්ථික නිෂ්පාදනයෙන් සියයට 10කට පමණ දායකත්වය සපයනවා.
අර්බුදය සමනය කිරීමේ අරමුණින් සේවක වැටුප් ඉල්ලීම් සමාලෝචනය කිරීම සඳහා සාමාජිකයන් හයදෙනෙකුගෙන් සමන්විත වැටුප් මණ්ඩලයක් රජය විසින් ඉරිදා පත්කර තිබෙනවා.
බංග්ලාදේශ ඇඟලුම් හා කාර්මික සේවක සම්මේලනයේ ප්‍රධාන ලේකම් සහ වැටුප් මණ්ඩලයේ සේවක නියෝජිත බාබුල් අක්තර් පවසන්නේ ලොව අඩුම ඇඟලුම් වැටුප් ගෙවන රටවල් අතර බංග්ලාදේශයද සිටින බවයි.
