පොලීතීන් බෑග් සඳහා පරිසර සංරක්ෂණ බද්දක් පනවන්න ඉල්ලු පෙත්සම -ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගය

එක්වරක් භාවිත කරන පොලිතින් බෑග් සඳහා නියාමනය කළ පරිසර සංරක්ෂණ බද්දක් පැනවන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ මුලික අයිතිවාසිකම් පෙත්සම ලබන වසරේ මාර්තු 05 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

මෙම පෙත්සම ඊයේ (03) අගවිනිසුරු ප්‍රීතපද්මන් සුරසේන , අචල වෙංගප්පුලි, ගිහාන් කුලතුංග යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුණා.

පෙත්සම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ කරුණු සලකා බැලු විනිසුරු මඩුල්ල, මේ කරුණ සම්බන්ධයෙන් දැනට පුද්ගලික වෙළෙඳසැල් වලින් අය කර ගන්නා බද්ද හෝ වෙනත් බද්දක් රජය⁣ට අය කර ගැනීම සඳහා සකස් කළ හැකි වැඩපිළිවෙළෙහි ක්‍රමවේදය ඉදරි දිනයේදී දැනුම් දෙන ලෙස නියම කළා.

එක්වරක් පමණක් භාවිත කර ඉවත දමන පොලිතින් බෑග් සඳහා නියාමනය කරන ලද පරිසර සංරක්ෂණ බද්දක් කඩිනමින් හඳුන්වා දෙන ලෙසත්, පරිසර හිතකාමී විකල්ප ඇසුරුම් භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා විධිමත් ක්‍රමවේදයක් ස්ථාපිත කරන ලෙසත් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

SCFR 53/2026 අංකය දරන මෙම පෙත්සම 2026 අප්‍රේල් 08 වැනිදා පරිසර යුක්ති කේන්ද්‍රය සහ පරිසරවේදීන් වන හේමන්ත විතානගේ හා දිලෙන පත්‍රගොඩ යන මහත්වරුන් විසින් ගොනු කර තිබෙනවා.

එක්වරක් පමණක් භාවිත කරන ප්ලාස්ටික් සහ පොලිතින් නිෂ්පාදන හේතුවෙන් පරිසරයට සහ මහජන සෞඛ්‍යයට සිදුවන අහිතකර බලපෑම් සම්බන්ධයෙන් කඩිනම් නීතිමය මැදිහත්වීමක් අවශ්‍ය බව පෙත්සම්කරුවෝ පෙන්වා දෙනවා.

විශේෂයෙන් උණුසුම් ආහාර ඇසුරුම් කිරීම සඳහා ප්ලාස්ටික් භාවිත කිරීමේදී ආහාර අපවිත්‍ර වීමේ අවදානමක් පවතින බවත්, කසළ බැහැර කරන ස්ථානවල තැන්පත් වන ප්ලාස්ටික් අපද්‍රව්‍ය හේතුවෙන් භූගත ජලය දූෂණය වීමේ අවදානමක් ඇති බවත් පෙත්සමේ සඳහන් වෙනවා.

පොලිතින් සහ ප්ලාස්ටික් භාවිතය පාලනය කිරීම සඳහා 2006 සහ 2017 වසරවලදී නීතිමය ක්‍රියාමාර්ග හඳුන්වා දී තිබුණද, එම නීති නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් ගැටලුව තවදුරටත් පවතින බව පෙත්සම්කරුවෝ පෙන්වා දෙනවා.

එමෙන්ම 2025 වසරේදී පොලිතින් බෑග් සඳහා මිලක් නියම කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දුන්නද, එය මෙම පාරිසරික ගැටලුවට සාර්ථක විසඳුමක් වී නොමැති බවද පෙත්සමේ සඳහන් වෙනවා.

මෙහිදී පොලිතින් බෑගයක් සඳහා අය කරන සාමාන්‍ය ගාස්තුවක් (Fee) සහ නීතියක් යටතේ පනවන බද්දක් (Levy) අතර පවතින වෙනස පෙත්සම්කරුවෝ විශේෂයෙන් අවධාරණය කරනවා.

ඒ අනුව 2008 අංක 26 දරන පරිසර සංරක්ෂණ බදු පනත (Environmental Conservation Levy Act) යටතේ විධිමත් බදු අයකිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කළ යුතු බව ඔවුහු පෙන්වා දෙනවා.

එමෙන්ම අදාළ නීති ක්‍රියාත්මක කිරීමේ වගකීම පැවරී ඇති රාජ්‍ය ආයතන අතර ප්‍රමාණවත් සම්බන්ධීකරණයක් නොමැති වීමද පවතින නීති උල්ලංඝනය කිරීම් අඛණ්ඩව සිදුවීමට ප්‍රධාන හේතුවක් බව පෙත්සමේ සඳහන් කර තිබෙනවා.

පවතින තත්ත්වය පරිසරය ආරක්ෂා කිරීම සඳහා රජයට පැවරී ඇති වගකීම උල්ලංඝනය කිරීමක් බවත්, පරිසර දූෂණයට වගකිව යුතු පාර්ශ්ව විසින් එම දූෂණයේ පිරිවැය දැරිය යුතුය යන දූෂකයා විසින් ගෙවිය යුතුය (Polluter Pays Principle) මූලධර්මයට පටහැනි බවත් පෙත්සම්කරුවෝ පෙන්වා දෙනවා.

එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාව යටතේ පුරවැසියන්ට හිමි මූලික අයිතිවාසිකම්ද මෙම තත්ත්වය හේතුවෙන් උල්ලංඝනය වන බව පෙත්සමේ සඳහන් වේ. පිරිසිදු පරිසරයක ජීවත්වීමේ අයිතිය සම්බන්ධයෙන්ද පෙත්සම්කරුවෝ එහිදී අවධානය යොමු කරනවා.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය සහ එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා, පරිසර අමාත්‍යවරයා, පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා, මුදල් අමාත්‍යවරයා වන ජනාධිපතිවරයා , පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා ඇතුළු පාර්ශ්ව කිහිපයක් නම් කර තිබෙනවා.

පරිසර හිතකාමී ඇසුරුම් භාවිතය සඳහා පුළුල් හා විධිමත් ක්‍රමවේදයක් ස්ථාපිත කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙසත්, එක්වරක් පමණක් භාවිත කරන පොලිතින් බෑග් සඳහා නියාමනය කරන ලද පරිසර සංරක්ෂණ බද්දක් පනවන ලෙසත් පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිනවා.

එමෙන්ම එම බදු මුදල් පරිසර සංරක්ෂණ කටයුතු සඳහා යොදාගැනීමට රජයේ පාලනය යටතේ විශේෂ අරමුදලක් ස්ථාපිත කරන ලෙසද පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.

දැනට පවතින පරිසර නීති දැඩිව ක්‍රියාත්මක කිරීම, ජෛව හායනයට ලක්වන ඇසුරුම් ද්‍රව්‍ය භාවිතය ප්‍රවර්ධනය කිරීම සහ නැවත නැවත භාවිත කළ හැකි පරිසර හිතකාමී විකල්ප හඳුන්වාදීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසද පෙත්සම්කරුවෝ අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.