සම්පත් මනම්පේරිගේ නඩුවක තීන්දුව ලබාදීම නොවැම්බර් 13ට කල් යයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ රාජ්‍ය පාලන සමයේ ඔහුගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියකු ලෙස කටයුතු කරමින් සිටියදී තවත් පොලිස් නිලධාරීන් පිරිසක් සමඟ නාරාහෙන්පිට මංසන්ධිය අසලදී ද්‍රවිඩ ව්‍යාපාරිකයකු බිය ගන්නවා ගන්නා සහල් පිරවූ ලොරියක් හා එම ව්‍යාපාරිකයා සන්තකයේ තිබූ මුදල් හා ජංගම දුරකථනය කොල්ලකෑමේ චෝදනා යටතේ සම්පත් මනම්පේරි ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව පවරා ඇති නඩුවේ තීන්දුව ලබන නොවැම්බර් 13 වැනිදා නිකුත් කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු රශන්ත ගොඩවෙල මහතා අද (03) නියෝග කළා.

2009 අගෝස්තු 12 වනදා පොලිස් නිලධාරී ලෙස පෙනී සිටමින් නැගෙනහිර පළාතේ සිට සහල් ප්‍රවාහනය කරමින් සිටි සෙල්වදොරෙහි කොළවෙන්නාදන් නැමැති ව්‍යාපාරිකයා බිය ගන්නවා එකී මංකොල්ලයක් සිදු කිරීම ඇතුළු අධි චෝදනා 07ක් යටතේ සම්පත් මනම්පේරි ඇතුළු විත්තිකරුවන් සිව්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා එම නඩුව පවරා තිබෙනවා.

එම නඩුව ඉකුත් වසරේ සැප්තැම්බර් 30 කැඳවූ අවස්ථාවේ දී සම්පත් මනම්පේරි නැමැත්තා අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන නොතිබීම කෙරෙහි අවධානය යොමුකළ විනිසුරුවරයා එහිදී සම්පත් මනම්පේරිට වරෙන්තු ද නිකුත් කරන ලෙසද නියෝගය කළා.

සිය සේවාදායකයා මිද්දෙණිය ප්‍රදේශයේ අයිස් නිෂ්පාදන සඳහා යොදාගත්තේ යැයි කියන රසායනි ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් දෙකක් සඟවා තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බන්ධනාගාර භාරයේ පසුවන බව විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කල්ප පෙරේරා එදින අධිකරණයට දැනුම් දුන්නා.

කෙසේ නමුත් අද (03) දින බන්ධනාගාරය මගින් සම්පත් මනම්පේරි අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

අද (03) දින නඩුවේ තීන්දුව ලබාදීමට නියමිතව තිබුණද තීන්දුව තවමත් සුදානම් නොමැති බැවින් එය 13 වැනිදා ප්‍රකාශයට පත් කරන බව මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළා.

එවකට අගමැති ආරක්ෂක අංශයේ සේවය කළ ඉන්දික දොළවත්ත, නෙරන්ංජන් පෙරේරා, සම්පත් මනම්පේරි ඇතුළු පිරිසක් සමඟ එක්ව රුපියල් ලක්ෂ 1000ක් පමණ වටිනා සහල් තොයක් කොල්ලකෑම ඇතුළු චෝදනා යටතේ විත්තිකරුවන් සිව්දෙනෙකුට නීතිපතිවරයා විසින් නඩුව ගොනු කර තිබෙනවා.