සබරගමුවේ උසස් පෙළ විශිෂ්ටයින් 241 දෙනෙකුට ජනාධිපති අරමුදලින් ශිෂ්‍යත්ව

සබරගමුව පළාතේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට දක්ෂතා දැක්වූ සිසුන් 241 දෙනෙකු ඇගයීමේ වැඩසටහන රත්නපුර දිස්ත්‍රික් ලේකම් ශ්‍රවණාගාරයේදී අද (01) දින පැවැත්වුණා.

රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක දෙක නියෝජනය කරමින් විෂය ධාරා 06 යටතේ ඉහළම ප්‍රතිඵල ලබාගත් සිසුන් 241 දෙනෙකු මෙහිදී ඇගයීමට ලක් කෙරුණු අතර එක් සිසුවෙකුට රුපියල් ලක්ෂයක මුල්‍යාධාරයක් සහ ඇගයීම් සහතික පතක් පිරිනැමුණා.

එහිදි අදහස් දැක්වු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න,

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් පරිදි මේ වසරේ සිට ප්‍රතිලාභ ලබන සිසුන් සංඛ්‍යාව දෙගුණයකින් ඉහළ නංවා ඇති අතර, අතීතයේ අවභාවිත වූ ජනාධිපති අරමුදල මේ වන විට පොදු ජනතාවගේ අරමුදලක් ලෙස දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කැපවී සිටිනවා.

ස්වභාවික ආපදාවන්ට ලක්වූ සහ ආබාධිත තත්ත්වයන් සහිත සිසුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ද ජනාධිපති අරමුදල මගින් අඛණ්ඩව ආධාර ලබාදෙනවා.

එමෙන්ම මහපොළ ශිෂ්‍යත්වය යටතේ සරසවි සිසුන් 55,000 දෙනෙකුට මාසිකව රුපියල් 10,000 බැගින් ගෙවීම සිදුකරන බවද වැඩිදුරටත් ප්‍රකාශ කළා.

මෙම අවස්ථාවට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න, අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි, සබරගමුව ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න, නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ශාන්ත පද්ම කුමාර, නීතිඥ නිලූෂා ගමගේ, සුනිල් රාජපක්ෂ, සබරගමුව පළාත් ප්‍රධාන ලේකම් උපාලි ජයසේකර, කෑගල්ල දිස්ත්‍රික් ලේකම් K.G.S. නිශාන්ත, රත්නපුර දිස්ත්‍රික් ලේකම් ලලිත් ආනන්ද, ජනාධිපති අරමුදලේ ලේකම් රොෂාන් ගමගේ සහ සබරගමුව පළාත් අධ්‍යාපන ලේකම් ලක්මාලි යූ කුමාරි ඇතුළු පිරිසක් සහභාගීවුණා.