පොලිස් වෙඩි තැබීමකින් 16 හැවිරිදි දරුවෙක් තුවාල ලැබූ සිද්ධිය ගැන පොලිසියෙන් නිවේදනයක්

කඩවත, මහකඩේ ප්‍රදේශයේ අණ නොතකා ධාවනය කළ ත්‍රීරෝද රථයකට පොලිසිය විසින් වෙඩි තැබීම සහ එම වෙඩි තැබීමෙන් 16 හැවිරිදි පිරිමි දරුවෙක් තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා

ඊයේ (31) දින සවස, කඩවත පොලිස් වසමේ මහකඩේ හන්දිය ප්‍රදේශයේ පොලිස් මාර්ග බාධකයක පුද්ගලයින් හා වාහන පරීක්ෂා කරමින් සිටි අවස්ථාවේදී නිලධාරීන් විසින් ත්‍රීරෝද රථයක් නැවතීමට සංඥා කිරීමේදී එම ත්‍රීරෝද රථය නිලධාරීන්ගේ ඇඟට කපා පොලිස් අණ නොතකා නොනවත්වා ධාවනය කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

එම අවස්ථාවේ මාර්ග බාධක රාජකාරි යෙදී සිටි පොලිස් නිලධාරියෙකු විසින් ත්‍රීරෝද රථයට වෙඩි තැබීමක් සිදුකර ඇති අතර ත්‍රීරෝද රථය පලා ගොස් ඇති බවත් නිවේදනයේ සඳහන්.

මෙම වෙඩි තැබීමෙන් ත්‍රීරෝද රථයේ පිටුපස අසුනේ ගමන්ගත් ගෝනහේන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 16 ක ළමයෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා රාගම රෝහලට ඇතුළත් වී තිබෙනවා.

පලාගිය ත්‍රීරෝද රථයේ රියැදුරුව සිටි වේයන්ගොඩ පොලිස් වසමේ තල්ගස් ස්මොටේ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 17 ක ළමයෙකු කඩවත පොලිස් ස්ථානයට ඉදිරිපත් වීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇති අතර පලා ගිය ත්‍රීරෝද රථය ගෝනහේන ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් උතුරු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිතුමාගේ අධීක්ෂණය යටතේ ගම්පහ කොට්ඨාස අපරාධ විමර්‌ශන කාර්‌යංශය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.