ඉන්දියන් සාගර කලාපයේ සමුද්රීය ආරක්ෂාව සහ සහයෝගීතාව ශක්තිමත් කිරීමේ අරමුණින් ඔස්ට්රේලියාව, ඉන්දියාව, ජපානය සහ අමෙරිකාව එක්ව විශේෂ නාවික මෙහෙයුමක් ක්රියාත්මක කර තිබෙනවා.
2026 ක්වාඩ් සමුද්රීය නිරීක්ෂක මෙහෙයුම යටතේ දින 13ක මුහුදු ගමනක් සඳහා ඔස්ට්රේලියානු දේශසීමා ආරක්ෂක බලකායේ නිලධාරීන් ද ඉන්දීය වෙරළාරක්ෂක බලකාය සමඟ එක්වී ඇති බවයි විදෙස් මාධ්ය වාර්තාවල සඳහන් වන්නේ.
එම ගමන සඳහා රටවල් හතරේ නිලධාරීන් ඉන්දීය වෙරළාරක්ෂක නෞකාවකට ගොඩවී ඇති අතර, එය සැප්තැම්බර් 25 වැනිදා චෙන්නායි වරායෙන් පිටත්ව ඔක්තෝබර් 7 වැනිදා බටහිර ඔස්ට්රේලියාවේ ෆ්රීමැන්ටල් වෙත ළඟා වී තිබෙනවා.
මෙම ගමන අතරතුර සමුද්රීය සෙවීම් හා මුදාගැනීම්, මුහුදු දූෂණයට ප්රතිචාර දැක්වීම, සමුද්රීය නීති ක්රියාත්මක කිරීම සහ නෞකා පරීක්ෂා කිරීම වැනි ක්ෂේත්ර ආවරණය කරමින් නිලධාරීන් ඒකාබද්ධ පුහුණු අභ්යාසවල නිරත වී තිබෙනවා.
මෙම මෙහෙයුමේ අරමුණ වන්නේ රටවල් හතර අතර සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීම, අන්යෝන්ය අවබෝධය ශක්තිමත් කිරීම සහ ඉන්දු පැසිෆික් කලාපයේ සමුද්රීය ආරක්ෂක අභියෝගවලට සාමූහිකව මුහුණදීමේ හැකියාව ඉහළ නැංවීමයි.
ඔස්ට්රේලියානු සමුද්රීය දේශසීමා අණදෙන ඒකකයේ ප්රධානී රියර් අද්මිරාල් බ්රෙට් සොන්ටර් ප්රකාශ කර ඇත්තේ, ඔස්ට්රේලියාවේ සමුද්රීය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා කලාපීය හා ජාත්යන්තර හවුල්කරුවන් සමඟ ශක්තිමත් සබඳතා පවත්වාගෙන යාම අත්යවශ්ය බවයි.
