හිටපු රාජ්ය ඇමැතිනි ඩයනා ගමගේ වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය ඉකුත් 22 වනදා නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්නා සුවඳුරුගොඩ මහත්මිය නියෝග කළා.
විත්තිකාර ඩයනා ගමගේ නීතිඥ මොහාන් සෙනෙවිරත්න මගින් මෝසමක් ඉදිරිපත් කර අධිකරණයට භාර විමෙන් අනතුරුව මෙලෙස වරෙන්තුව ආපසු කැඳවීමට මහාධිකරණ විනිසුරුවරිය නියෝග කරනු ලැබුවා.
එහිදී විත්තිකාරිය වෙනුවෙන් සිටි නීතිඥවරයා සඳහන් කළේ විත්තිකාරියට අත්යවශ්ය ගමනක් යෙදීම හේතුවෙන් අධිකරණයට පැමිණීමට ප්රමාද වූ බවයි.
එකී හදිසි කරුණ නිසාවෙන් අධිකරණයේ නියමිත වේලාවට පෙනී සිටීමට නොහැකි වූ බවද නීතිඥවරයා සඳහන් කළා.
එහිදී විනිසුරුවරිය සඳහන් කර සිටියේ විත්ති කූඩුවට නැගි පසු තරාතිරම කුමක් වුවත් සියලුම දෙනා එක හා සමානව සලකන බවත් නීතිය ද සියලුම දෙනාට එක හා සමාන වන බවයි.
එමෙන්ම නඩු ගොනුව පරීක්ෂා කරන විටදී තමන්ට පෙනී යන්නේ මින් පෙරද විත්තිකාරිය මේ ආකාරයෙන් අවස්ථා කිහිපයකදී අධිකරණයට ප්රමාද වී පැමිණ ඇති බවත් ඒ සම්බන්ධයෙන් මහාධිකරණ විනිසුරුවරිය විත්තිකාරියට තරයේ ආවාද කරනු ලැබුවේ මින් ඉදිරියට නිසි වේලාවට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි.
ඉන් අනතුරුව ඇයව අත්අඩංගුවට ගැනීමට නිකුත් කර තිබූ වරෙන්තුව ආපසු කැඳවන ලෙස නියෝග කර මහාධිකරණ විනිසුරුවරිය නඩුව හෙට (28) පස්වරු 1.30ට යළි කැඳවන ලෙසද නියෝග කළා.
පසුගිය 22 වනදා ඩයනා ගමගේ අධිකරණය හමුවේ පෙනී නොසිටි අවස්ථාවේ දී ඇයගේ ඇපකරුවන්ට ද නොතේසි නිකුත් කරනු ලැබුවා.
එහිදී ඇය වෙනුවෙන් ඇපකරුවෙකු ලෙස පෙනී සිටින චමින්ද ජයලත් නැමැත්තා ද නීතිඥ අසිත විපුලනායක මගින් අධිකරණය හමුවේ පෙනී සිටියා.
ව්යාජ උප්පැන්නයක් ඉදිරිපත් කර හැඳුනුම්පතක් ලබා ගැනීමේ චෝදනාවට විත්තිකාරියට එරෙහිව පවරා ඇති නඩුව
විභාගයට ගත් අවස්ථාවේ අධිකරණය ඉදිරියේ පෙනී නොසිටි හිටපු රාජ්ය ඇමැතිවරියට එලෙස වරෙන්තු නියම කෙරුණා.










