මුහුදේ අනාරක්ෂිත ප්‍රදේශවල සිටින ධීවරයින්ට ආරක්ෂිත ප්‍රදේශ කරා යන්නැයි දැනුම් දෙයි

උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය එම ප්‍රදේශය ආශ්‍රිතවම පවතිමින් අද (24) දින පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇති බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

එම පද්ධතිය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් තවදුරටත් වර්ධනය වී ඔක්තෝබර් මස 25 වන දින වන විට ගැඹුරු පීඩන අවපාතයක් බවටත්, ඔක්තෝබර් මස 26 වන දින උදෑසන වන විට බටහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සුළි කුණාටුවක් බවටත් පත්වීමට ඉතා ඉහළ සම්භාවිතාවක් පවතින බවයි එම නිවේදනයේ සඳහන් වුණේ.

එම නිසා උතුරු අක්ෂාංශ 10 ත් 20 ත් සහ නැගෙනහිර දේශාංශ 85ත් 95ත් අතර මුහුදු ප්‍රදේශ වල නැවත දැනුම් දෙනතුරු ධීවර සහ නාවුක කටයුතු වලින් වළකින ලෙසත් එම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදෙන ප්‍රජාවන් ආරක්ෂිත ප්‍රදේශ කරා යාත්‍රා කරන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව උපදෙස් දී තිබෙනවා.