මෙට්‍රෝ බස් අනතුරට පත් කිරීම ගැන පොලිස්පති නියමයෙන් පූර්ණ විමර්ශනයක්

මාර්ග 07ක් ඔස්සේ අලුතින් ධාවනයට එක් කෙරුණු මෙට්‍රෝ බස් රථ හිතාමතා අනතුරට පත් කිරීමක් නිරීක්ෂණය වී ඇති බව
රථවාහන පාලන හා මාර්ග ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර පවසනවා.

අද (09) පෙරවරුවේ මහරගම පොලිස් ස්ථානයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ, මීට ආසන්න එවැනි සිදුවීමක් අද (09) උදෑසන කාලයේ කැස්බෑව ප්‍රදේශයෙන් වාර්තා වන බවයි.

එමෙන්ම ඊයේ (08) දිනයේ දී ද මෙට්‍රෝ බස් රථ හිතාමතා අනතුරට පත් කිරීමේ සිද්ධීන් දෙකක් වාර්තා වන බවයි ඔහු සඳහන් කළේ.

නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ ඊයේ (08) සිදුවූ මෙම අනතුරු දෙකම එකම පෞද්ගලික බස් රථ රියදුරෙකු විසින් සිදුකර ඇති බවයි.

එමෙන්ම බොරැල්ල, මාකුඹුර, කොල්ලුපිටිය, අතුරුගිරිය, රාජගිරිය වැනි ප්‍රදේශවල මෙට්‍රෝ බස් රථ හිතාමතා අනතුරට පත් කිරීමේ සිද්ධීන් හයකර ආසන්න සංඛ්‍යාවක් වාර්තාවන බව ඔහු පැවසුවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේ කිසියම් කණ්ඩායමක් විසින් සංවිධානාත්මකව කුමන්ත්‍රණකාරීව මේවා සිදුකරන බවට නිරීක්ෂණ වී ඇති බවයි.

ඒ, අනුව මෙම සිදුවීම සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදුකරන ලෙසට පොලිස්පතිවරයා උපදෙස් දී ඇති බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්