පොදු දේපලවලට අනර්ථයක් සිදු කිරීමේ චෝදනාව යටතේ නම් කළ මීගමුව කාන්තා බන්ධනාගාරයයේ රැඳවියන් 25 දෙනාගේ හඳුනා ගැනීමේ පෙරටුව සඳහා කාන්තා නියාමකවරියන්ට සිතාසි යොමුකරන ලෙස මීගමුව ප්රධාන මහෙස්ත්රාත් ශිලනි පෙරේරා මහත්මිය අද (29) රෙජිස්ට්රාර්වරයාට නියෝග කළා.
එමෙන්ම සැකකාරියන් සහ සාක්ෂිකාරියන් එකම බන්ධනාගාරවල සිටි නම් වාට්ටු හෝ බන්ධනාගාර වෙනස් කර ඔවුන් එකට මුණනොගැසෙන පරිදි රඳවා තබන ලෙසද ලබන 06 වනදා ආවරණ සහිත ඉදිරිපත් කරන ලෙසද එතෙක් ඔවුන් සියලු දෙනා ලබන ඔක්තෝබර් 06 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහේස්ත්රාත්වරිය නියෝග කර සිටියා.
එම කාන්තා සැකකාරියන් සම්බන්ධයෙන් පොදු දේපළ පනත යටතේ නඩු පවරන බවත්, නඩුව අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියා.
සිද්ධිය අවස්ථාවේ දී මිය ගිය සියලුම පුද්ගලයන්ගේ මරණ පරීක්ෂණ අවසන් බවත්, සියලුම වාර්තා අධිකරණයට ඉදිරිපත් කර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා.
ඉදිරියේ දී මරණ පරීක්ෂණ සම්බන්ධයෙන් නියෝගය නිකුත් කරන බවද මහේස්ත්රාත්වරිය සඳහන් කළා.
මේ වන විට සැකකරුවන් 106 දෙනෙකු නම් කර ඇති බවත්, ඉන් 81ක් පිරිමි පුද්ගලයන් සහ 25ක් කාන්තාවන් බවද නිලධාරීහු සඳහන් කළ අතර, සැකකරුවන් 96ක් හඳුනාගැනීමේ පෙරට්ටුවට සඳහා ඉදිරිපත් කර තිබෙන බව ද සඳහන් කර සිටියා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටි නියෝග මහේස්ත්රාත්වරිය නිකුත් කළ අතර, සැකකරුවන් 106 දෙනාම ඔක්තෝබර් 06 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත්, පෙරට්ටුවට ඉදිරිපත් නොකරන අනෙක් සැකකරුවන් වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ අධිකරණට ඉදිරිපත් කරන ලෙසත් නියෝග කළා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශයේ (01) හි සහකාර පොලිස් අධිකාරී චන්දන කලුආරච්චිගේ ප්රධානත්වයෙන් ප්රධාන පොලිස් පරීක්ෂක කරුණාතිලක, උප පොලිස් පරීක්ෂක දුලිත මදුරංග, උප පොලිස් පරීක්ෂක මදුසංක, කාන්තා උප පොලිස් පරීක්ෂක දිලිනි, පොලිස් කොස්තාපල්වරුන් වන දුලංග, අනිල්, අසේල , රශ්මික, සේරම් සහ හේරත් යන නිලධාරීන් පිරිසක් විසින් මෙම වැඩිදුර වාර්තාව අධිකරණයට ඉදිරිපත් කර සිටියා.
ජූලි 05, 06, යන දිනවල මීගමුව බන්ධනාගාරේ ඇති වූ මෙම ගැටුමෙන් බන්ධනාගාර නිලධාරින් 10 දෙනෙකු සහ රැඳවියන් 22ක් ජීවිතක්ෂයට පත් වූ අතර, සීයකට අධික පිරිසක් තුවාල ලැබුවා.
සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන සිදුකරන අතර පොදු දේපල පනත යටතේ, ගිනි අවි ආඥා පනත යටතේ සහ මීනි මැරිම යටතේ මෙම නඩුව ගොනු කර තිබෙනවා.
නඩුව යළි ඔක්තෝබර් 06 වනදා නඩුව කැඳවීමට නියමිතයි.













