චීනයේ රැකියා වෙළෙඳපොළේ පවතින දැඩි තරගකාරීත්වය හමුවේ, රැකියා විරහිත තරුණයන් වැඩි පිරිසක් කෘත්‍රිම බුද්ධිය හෙවත් AI භාවිත කරමින් තනි පුද්ගල සමාගම් සහ ව්‍යාපාර ආරම්භ කිරීමට යොමුවෙමින් සිටින බව නව වාර්තාවක් පෙන්වා දෙනවා.
Wall Street Journal වාර්තාවක දැක්වෙන්නේ පසුගිය වසරේ චීනයේ නව තනි පුද්ගල සමාගම් මිලියන 7කට වැඩි සංඛ්‍යාවක් ආරම්භ කර ඇති බවයි. එය 2024ට සාපේක්ෂව සියයට 42ක පමණ වර්ධනයක්.
මෙම නව ව්‍යවසායකයන් බොහෝ දෙනෙකු මෘදුකාංග කේතකරණය, අලෙවිකරණය, පාරිභෝගික සේවා සහ පරිපාලන කටයුතු සඳහා AI තාක්ෂණය භාවිත කරන බව සඳහන්.
කෙසේ වෙතත්, තනි පුද්ගල AI ව්‍යාපාර ආරම්භ කිරීම පහසු වී තිබුණද ඒවා ලාභදායී ව්‍යාපාර බවට පත්කිරීම අභියෝගයක් වී තිබෙනවා. වාර්තාවට අනුව එවැනි ව්‍යාපාරවලින් අඩකට වැඩි ප්‍රමාණයක් මසකට අමෙරිකානු ඩොලර් 1,000කටත් අඩු ආදායමක් උපයනවා.
මේ අතර චීන කර්මාන්ත ක්ෂේත්රය තුළ AI භාවිතය ද ඉතා වේගයෙන් ඉහළ ගොස් තිබෙනවා. IDC දත්ත අනුව 2024දී AI models සහ agents භාවිත කළ චීන කාර්මික ව්‍යාපාර ප්‍රමාණය සියයට 10කටත් අඩු වුවද, පසුගිය වසර වන විට එය සියයට 50කට ආසන්න මට්ටමකට ඉහළ ගොස් තිබෙනවා.
AI භාවිතය ඵලදායිතාව ඉහළ නැංවීමට සහ ව්‍යාපාරික පිරිවැය අඩු කිරීමට උපකාරී වුවද, රැකියා ස්වයංක්‍රීයකරණය හේතුවෙන් තරුණයන්ට ස්ථාවර රැකියා ලබාගැනීම තවදුරටත් අසීරු විය හැකි බවට විශ්ලේෂකයන් අනතුරු අඟවනවා.
චීනයේ සමස්ත නාගරික රැකියා විරහිතභාවය සියයට 5ක් පමණ වුවද, අධ්‍යාපනයේ නොසිටින වයස අවුරුදු 16ත් 24ත් අතර තරුණයන්ගේ රැකියා විරහිතභාවය එම අනුපාතයට වඩා තුන් ගුණයකට ආසන්න මට්ටමක පවතින බව ද වාර්තාව පෙන්වා දෙනවා.













