ඉන්ධන සඳහා සහනාධාරයක් ලබාදීමකින් තොරව ඉදිරියට යෑමට නොහැකි තැනට මේ වනවිට පත්ව ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ.රාජකරුණා පවසනවා.
අද (23) පස්වරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් සභාපතිවරයා සඳහන් කළේ, රජය විසින් ලබන සතිය තුළ ඉන්ධන සඳහා ලබාදෙන සහනාධාරය සම්බන්ධයෙන් තීන්දුවක් ගනු ඇති බවයි.
මෙම සතිය තුළ ලෝක වෙළඳපොලේ ඉන්ධන මිලේ හැසිරීම පිළිබදව සලකා බලමින් එම තීරණය රජය විසින් ගනු ඇති බවයි සභාපතිවරයා පැවසුවේ.
මේ අතර පසුගිය දිනවල අනෙකුත් ඉන්ධන වෙළෙඳ සමාගම් විසින් ඉන්ධන නිකුත් කිරීම අඩු කිරීම හේතුවෙන් ඇතැම් පිරවුම්හල්වල ඉන්ධන හිඟයක් දක්නට ලැබුණු බව ඔහු සඳහන් කර සිටියා.
මේ පිළිබඳව පසුගිය සතියේ අමාත්‍යංශ ලේකම්වරයා සියලුම ඉන්ධන සමාගම් කැඳවා සාකච්ඡාවක් පැවැත්වූ බවත් සභාපතිවරයා මෙහිදී සඳහන් කළා.
මෙහිදී RM Parks සමාගම ඩීසල් ලීටරයකින් රුපියල් 173ක සහ පෙට්‍රල් ලීටරයකින් රුපියල් 38.75ක පාඩුවක් ලබන බවත්,
Sinopec සමාගම ඩීසල් ලීටරයකින් රුපියල් 192ක සහ පෙට්‍රල් ලීටරයකින් රුපියල් 67ක පාඩුවක් ලබන බවත් එම සමාගම් පෙන්වා දී තිබෙනවා.
එමෙන්ම ලංකා IOC සමාගම ඩීසල් ලීටරයකින් රුපියල් 136ක සහ පෙට්‍රල් ලීටරයකින් රුපියල් 57ක පාඩුවක් ලබන බවත් එහිදී පෙන්වා දුන් බවත් සභාපතිවරයා පැවසුවා.













