නවසීලන්තයට යන ඉන්දීය ජාතිකයින්ට නීති ලිහිල් වෙයි

ඉන්දියාව සහ නවසීලන්තය අතර අත්සන් තැබුණු නිදහස් වෙළෙඳ ගිවිසුම (FTA) ඔක්තෝබර් 20 වැනිදා සිට බලාත්මක වන බව ඉන්දීය වෙළෙඳ අමාත්‍ය පියුෂ් ගෝයල් පවසනවා.

පසුගිය අප්‍රේල් මාසයේදී අත්සන් තැබුණු ගිවිසුම දෙරට විසින්ම මේ වන විට අනුමත කර ඇති අතර, එමගින් සියලුම ඉන්දීය භාණ්ඩ සඳහා නවසීලන්ත වෙළෙඳපොළට තීරුබදු රහිත ප්‍රවේශය හිමිවනවා.

ඉන්දීය සිසුන් සහ සේවකයන් සඳහා සංචරණ නීති ලිහිල් කිරීමට ද ගිවිසුමෙන් පියවර ගෙන තිබෙනවා.

ඒ සමඟ ඉදිරි වසර 15 තුළ අමෙරිකානු ඩොලර් බිලියන 20ක ආයෝජන ඉන්දියාවට ගෙන ඒමට නවසීලන්තය එකඟ වී තිබෙනවා.

නවසීලන්තයෙන් ඉන්දියාවට සිදුකරන අපනයනවලින් සියයට 57ක් ගිවිසුම ක්‍රියාත්මක වන පළමු දිනයේ සිටම තීරුබදුවලින් නිදහස් කෙරෙන අතර, බැටළු මස්, ලොම් සහ ගල් අඟුරු ද ඒ අතරට අයත්.

ගිවිසුම සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වන විට නවසීලන්ත අපනයනවලින් සියයට 95කට ආසන්න ප්‍රමාණයක තීරුබදු ඉවත් කිරීම හෝ අඩු කිරීම සිදුකෙරෙනවා.

ඇපල්, කිවි පලතුරු සහ albumins සඳහා නවසීලන්ත අපනයනකරුවන්ට විශේෂ කෝටා යටතේ ඉන්දීය වෙළෙඳපොළට ප්‍රවේශය හිමිවන අතර, වයින් සඳහා දැනට පවතින සියයට 150ක තීරුබද්ද වසර 10ක් තුළ නිෂ්පාදනයේ වටිනාකම අනුව සියයට 25ක් හෝ 50ක් දක්වා අඩු කිරීමට නියමිතයි.

ගෝලීය වෙළෙඳාමේ අවිනිශ්චිතතාව සහ ඉහළ යන තීරුබදු හමුවේ, ඉන්දියාව සිය අපනයන වෙළෙඳපොළ විවිධාංගීකරණය කිරීම සඳහා බ්‍රිතාන්‍යය සහ යුරෝපා සංගමය ඇතුළු ප්‍රධාන ආර්ථිකයන් සමඟ වෙළෙඳ ගිවිසුම් පුළුල් කිරීමට ද පියවර ගනිමින් සිටිනවා.