වාහන වායු විමෝචන වැඩසටහන විසින් කොළඹ බැස්ටියන් මාවතේ පුද්ගලික බස් නැවැතුම්පොළේ නවතා තිබූ බස් රථවල මාර්ග යෝග්‍යතාව සහ වායු විමෝචනය පරීක්ෂා කිරීමේ විශේෂ මෙහෙයුමක් ඊයේ (22) රාත්‍රියේ සිදු කෙරුණා.
මෙම විශේෂ මෙහෙයුමේ දී පරීක්ෂාවට ලක් කළ බස් රථ 59 කින් 39 කටම නඩත්තු නියෝග නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
වාහන වායු විමෝචන වැඩසටහන මගින් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ (NTC) සහයෝගය ඇතිව මෙම හදිසි පරීක්ෂාව සිදුකරනු ලැබුවා.
දහවල් කාලයේ දී ධාවනයේ නොයෙදෙන සහ පරීක්ෂාවලට හසුනොවන බස් රථ ඉලක්ක කරගනිමින් මෙම විශේෂ රාත්‍රී මෙහෙයුම සංවිධානය කර තිබුණා.
වාහන වායු විමෝචන වැඩසටහනේ නිලධාරීන් විසින් මෙහිදී ඩීසල් වෙනුවට භූමිතෙල් යොදාගනිමින් ධාවනය කළ බස් රථද එහිදී හඳුනාගෙන ඇති අතර, එම බස් රථවල මාර්ග බලපත්‍ර තාවකාලිකව අහෝසි කිරීමට බලධාරීන් පියවර ගෙන ගැනුණා.
මේ අතර මෙයට සමගාමීව කිලිනොච්චිය ප්‍රදේශයේ ධාවනය වන බස් රථවල මාර්ග යෝග්‍යතාව පරීක්ෂා කිරීමේ තවත් විශේෂ වැඩසටහනක්ද ඊයේ (22) දහවල් කාලයේ දී වාහන වායු විමෝචන වැඩසටහන විසින් ක්‍රියාත්මක කර තිබෙනවා.
මගී ජනතාවගේ ආරක්ෂාව සහ පරිසර ආරක්ෂණය වෙනුවෙන් ධාවනයට නුසුදුසු බස් රථ හඳුනාගැනීමේ මෙම විශේෂ පරීක්ෂණ සතිපතා අඛණ්ඩව සිදු කිරීමට වාහන වායු විමෝචන වැඩසටහන විසින් සැලසුම් කර තිබෙනවා.
ජාතික ගමනාගමන කොමිෂන් සභාව සහ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සමඟ එක්ව ඉදිරියේදී මෙම වැඩසටහන දිවයින පුරා සතිපතා ක්‍රියාත්මක කිරීමට නියමිතයි.













