ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) දූත පිරිස සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර හමුවක් පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී ඊයේ (22) සිදුවුණා.
ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය, වර්තමානයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය දක්වන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ වර්තමාන විස්තීරණ අරමුදල් පහසුකම් විධිවිධානයෙන් ඔබ්බට රටේ ආර්ථික දැක්ම පිළිබඳව සාකච්ඡා කිරීම මෙම හමුවේ මූලික අරමුණ වී තිබුණා.
රටේ බාහිර තත්ත්වය, විදේශ විනිමය සංචිත, ණය තිරසාරභාවය, මූල්‍ය තත්ත්වය, ආර්ථික වර්ධනය සහ වත්මන් විස්තීරණ අරමුදල් පහසුකම් (EFF) වැඩසටහනෙන් ඔබ්බට ආර්ථික ස්ථාවරත්වය පවත්වා ගැනීමට ශ්‍රී ලංකාවට අවශ්‍ය කොන්දේසි ඇතුළුව 2027 මාර්තු මාසයෙන් පසු ශ්‍රී ලංකාවේ ආර්ථික ඔරොත්තුදීමේ හැකියාව පිළිබඳව මෙම සාකච්ඡාවේ දී දෙපාර්ශ්වයේ ම අවධානය යොමු වුණා.
තිරසාර ණය ප්‍රතිපත්ති හා රාජ්‍ය මූල්‍ය තත්ත්ව, කළමනාකරණය කළ හැකි බාහිර මූල්‍ය අවශ්‍යතා සහ තිරසාර ආර්ථික වර්ධනය සඳහා වැඩි දියුණු කළ අපේක්ෂාවන් ඇතුළුව වත්මන් වැඩසටහනේ අවසානයේ ශ්‍රී ලංකාව ළඟා කර ගත යුතු මැනිය හැකි ආර්ථික තත්ත්වයන් පිළිබඳව ද මෙහි දී විශේෂ අවධානය යොමු වී තිබෙනවා.
රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවය සහ ආර්ථික ගැලපීම මඟින් වැඩ කරන ජනතාව සහ අවදානමට ලක්විය හැකි පවුල් මත අසමානුපාතික බරක් පැටවිය යුතු නැති බව මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස IMF නියෝජිත පිරිස හමුවේ වැඩිදුරටත් අවධාරණය කළා.
එමෙන්ම සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ මූල්‍ය විනය පවත්වාගෙන යන අතර පවුල සහ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායකයන් මුහුණ දෙන සැබෑ ආර්ථික තත්ත්වයන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලෙස විපක්ෂ නායකවරයා මෙහි දී ඉල්ලා සිටියා.
තවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන අවසාන වශයෙන් තක්සේරු කළ යුත්තේ සමස්ත සාර්ව ආර්ථික දර්ශක හරහා පමණක් නොව, ගෘහස්ථ, පුද්ගල සහ ව්‍යාපාරික මට්ටමින් එහි බලපෑම හරහා බව මෙහි දී විපක්ෂ නායකවරයා අවධාරණය කළා.
එමෙන්ම දරිද්‍රතාවය, දැරිය හැකි මිලකට භාණ්ඩ ලබා දීම, උද්ධමනය සහ ගෘහාශ්‍රිත ආදායම් කෙරෙහි, විශේෂයෙන්ම පහළ සහ මධ්‍යම ආදායම්ලාභී පවුල් මුහුණ දෙන ආර්ථික පීඩනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන වඩාත් ජනතාවාදී ප්‍රවේශයක අවශ්‍යතාව විපක්ෂ නායකවරයා විසින් මෙහි දී වැඩිදුරටත් අවධාරණය කර සිටියා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් තවදුරටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයන් හමුවේ අවධාරණය කළේ, ආර්ථික ස්ථායිකරණයෙන් පසු වැඩි ආයෝජන, රැකියා අවස්ථා, වැඩි දියුණුවූ ගෘහ ආදායම සහ ජනතාවට ශක්තිමත් ආර්ථික සුරක්ෂිතභාවයක් ඇති කරමින් තිරසාර සහ සියල්ලන් ඇතුළත් ආර්ථික වර්ධනයක් කරා රට සංක්‍රමණය විය යුතු බවයි.
අනාගත බාහිර කම්පනයන්ට ඔරොත්තුදීමේ ශ්‍රී ලංකාවේ හැකියාව ශක්තිමත් කරන අතරම සාර්ව ආර්ථික ස්ථාවරත්වය පවත්වාගෙන යා හැකි විශ්වසනීය ආර්ථික රාමුවක් 2027 මාර්තු මාසයෙන් ඔබ්බට වර්ධනය කිරීමේ වැදගත්කම ද ඔහු මෙහි දී අවධාරණය කර සිටියා.













