“ViYASA” ජාතික ව්‍යාපාර පහසුකම් මධ්‍යස්ථානය (NBFC) හෙට විවෘත කෙරේ

ආයෝජන සහ කර්මාන්ත ආශ්‍රිතව රාජ්‍ය ආයතන අතර පවතින පාලන හා නියාමන බාධා ඉවත් කර එම ක්‍රියාවලි වේගවත් කිරීමේ අරමුණින් ජනාධිපති කාර්යාලය යටතේ පිහිටවනු ලබන ජාතික ව්‍යාපාර පහසුකම් මධ්‍යස්ථානය (NBFC) හෙට (22) විවෘත කෙරෙනවා.

ජනාධිපතිවරයාගේ සංකල්පයක් අනුව කර්මාන්ත ක්ෂේත්‍රයේ ධනාත්මක පරිවර්තනයක් සිදුකිරීමේ අරමුණින් මෙම මධ්‍යස්ථානය ස්ථාපිත කෙරෙනවා.

ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී සහ එය පවත්වාගෙන යාමේදී රාජ්‍ය යාන්ත්‍රණය සමඟ ඇති වන ගැටලු සඳහා විසඳුම් ලබාදීමට මෙන්ම අදාළ රාජ්‍ය ආයතන සමඟ සම්බන්ධීකරණය කරමින් අවශ්‍ය පහසුකම් සලසාදීමට මෙම මධ්‍යස්ථානයෙන් කටයුතු කෙරෙනු ඇති.

“ViYASA” ජාතික ව්‍යාපාර පහසුකම් මධ්‍යස්ථානය (NBFC) කොළඹ 07, හෙක්ටර් කොබ්බෑකඩුව මාවත අංක C-80 ගොඩනැගිල්ලේ ස්ථාපිත කර තිබෙන අතර, එහි ප්‍රධානී ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සීවලි අරුක්ගොඩ කටයුතු කරනවා.

කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති යන අයගේ ප්‍රධානත්වයෙන් සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ සහභාගිත්වයෙන් මෙය විවෘත කෙරෙන අතර https://nbfc.presidentsoffice.gov.lk වෙබ් අඩෙවියද මෙහිදී නිල වශයෙන් දියත් කිරීමට නියමිතයි.