අකුණු සැර වැදී අගලවත්ත ප්‍රදේශයේ වයස අවුරුදු 15ක පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අසිත ප්‍රභාත් කුමාර නැමැති 10 වසරේ ඉගෙනුම ලැබූ සිසුවෙක්.
අගලවත්ත, හල්ඕවිය ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම සිසුවා ඊයේ උදෑසන සිය වැඩිමල් සහෝදරයා ද සමඟ නිවසේ කමරයක නිදාගෙන සිට තිබෙනවා.
මෙම සිසුවාගේ වැඩිමල් සහෝදරයා එහි තිබූ ඇඳක් මත නිදා සිට ඇති අතර, මියගිය අසිත බිම එලන ලද පැදුරක් මත නිදාගෙන සිටි බවයි අනාවරණය වී ඇත්තේ.
එම අවස්ථාවේ දී එල්ල වූ අකුණු සැරියක් සමඟ බිම නිදාගෙන සිටි අසිත ඇඳ යටට විසි වී ගොස් තිබෙනවා.
එහිදී ඔහුගේ මව පැමිණ බැලීමේ දී සිය බාල පුත්‍රයා ඇඳ යටට විසි සිටින ආකාරය දැක ඇති අතර, ඇඳ මත සිටි වැඩිමල් පුත්‍රයාට තුවාල සිදුව තිබූ ආකාරය දැක තිබෙනවා.
පසුව බරපතල තත්ත්වයේ සිටි තම බාල පුත්‍රයා කඩිනමින් ලොරි රථයකින් පිඹුර රෝහලට රැගෙන යෑමටයි කටයුතු කර ඇත්තේ.
එලෙස රෝහල් ගත කර අසිත ප්‍රතිකාර ලබමින් සිටිය දී අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බවයි වාර්තා වුණේ.
සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ අගලවත්ත පොලිසිය මඟින් සිදුකරනු ලබනවා.













