විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති කලීඩ් නසාර් සුලෙයිමාන් අල්අමෙරි අතර හමුවක් කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත්වුණා.
ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම කෙරෙහි මෙම හමුවේ දී අවධානය යොමු කළ අතර එහි දී වෙළෙඳ හා ආයෝජන සහයෝගීතාව පුළුල් කිරීම සහ දෙරටට එක් ව කටයුතු කළ හැකි නව ක්ෂේත්‍ර හඳුනා ගැනීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරනු ලැබුවා.
මෙම හමුවේ දී මැදපෙරදිග පවතින යුද ගැටුම තෙල් සැපයුම සහ බලශක්ති මිල ගණන් කෙරෙහි ඇති කරනු ලබන බලපෑම සහ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සහ පාරිභෝගිකයින්ට එමගින් ඇති විය හැකි බලපෑම් පිළිබඳව ද මෙහි දී දෙපාර්ශ්වයේ ම අවධානය යොමු වුණා.
එසේ ම කලාපයේ මතුව ඇති ආරක්ෂක තත්ත්වය හමුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවය කරන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම පිළිබඳ ව ද මෙහි දී අදහස් රැසක් හුවමාරු වුණා.
තවද නැගී එන අංශවල සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට සහ දෙරට අතර ආර්ථික හවුල්කාරිත්වය ශක්තිමත් කිරීමට, වෙළෙඳාම, ආයෝජන, සංචාරක සහ සංවර්ධනය ඇතුළු ක්ෂේත්රවල පවතින සහයෝගීතාව ගොඩනඟා ගැනීමට ඇති අවස්ථා මෙම හමුවේ දී තවදුරටත් සොයා බැලුනා.
ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සඳහා වැඩි ආර්ථික අවස්ථා නිර්මාණය කළ හැකි සමීප සබඳතා පවත්වා ගැනීමේ සහ සහයෝගීතාවයේ නව මාර්ග ගවේෂණය කිරීමේ වැදගත්කම මෙහි දී දෙපාර්ශ්වයම අවධාරණය කළා.













