කුවේට්වලින් පිටුවහල් කළ ලාංකිකයන් 20 දෙනෙක් කටුනායකට

කුවේට් රාජ්‍යයේ වීසා බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී ලෙස රැදී සිටියදී, එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන, රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ශ්‍රී ලාංකිකයන් 20 දෙනෙකු, එරටින් පිටුවහල් කර අද (20) දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණා.

මෙම පිරිස එරට ගෘහ සේවය ඇතුළු විවිධ රැකියා සදහා ගොස්, ඔවුන් ගිවිසුම් ගත සේවා ස්ථාන වලින් පිටමං වී, වීසා නොමැතිව වෙනත් රැකියා ස්ථාන වල රැදී සිටියදී මෙසේ කුවේට් ආරක්ෂක අංශ වල අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ඔවුන් අද (20) අලුයම 03.10 ට කුවේට් රාජ්‍යයේ කුවේට් සිටි නුවර සිට, අල් ජසීරා ගුවන් සේවයේ ජේ.එන්.- 551 දරන ගුවන් යානයෙන් මෙසේ පිටුවහල් කර එවා තිබුණා.

පසුව මෙම පිරිසට, සිය ගම්බිම් බලා පිටත්ව යාම සදහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබා දී, ඔවුන් පිටත්කර හැරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන තිබුණා.