පසුගිය 11 වැනිදා දෙහිවල පොලිස් වසමේදී නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කර දරුවන් දෙදෙනෙකු ඝාතනය කිරීම හා ඔවුන්ගේ පියාට බරපතල තුවාල සිදු කිරීමේ අපරාධය සම්බන්ධයෙන් බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් විමර්ශනයක් සිදු කරනු ලබනවා.
ඒ අනුව, ඊයේ (17) දින රිදීමාලියද්ද, දෙහිවල හා බොරැලැස්ගමුව පොලිස් වසම්වලදී බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම අපරාධය සිදුකල ප්‍රධාන සැකකරු හා ඊට අධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් අවුරුදු 39, 30 හා 23 වයස්වල පසුවන දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ.
අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන්ගෙන් සිදු කරන ලද ප්‍රශ්ණ කිරීම්වලදී රිදීමාලියද්ද පොලිස් වසමේදී අත්අඩංගුවට ගන්නා ලද මෙම අපරාධයේ ප්‍රධාන සැකකරු 2026.08.01 දින ගල්කිස්ස පොලිස් වසමේ කඳවලපාර ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධයේ වෙඩික්කරු වශයෙන්ද කටයුතු කරන ලද සැකකරුවෙකු බවටද විමර්ශන නිලධාරින් විසින් අනාවරණය කරගෙන තිබෙනවා.
විදේශ රටක සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ මෙහෙයවීම මත මෙම අපරාධයන් සිදුකර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශණයේදී අනාවරණය වී ඇති බව පොලිසිය පවසනවා.
බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.













