ශාන්ත පීටර්ස්බර්ග් හි ජර්මනියේ කොන්සල් කාර්යාලය වසා දමන ලෙස රුසියාව නියෝග කරයි

මොස්කව් සහ බර්ලිනය අතර රාජ්‍ය තාන්ත්‍රික ආතතීන් උත්සන්න වීමත් සමඟ ශාන්ත පීටර්ස්බර්ග් හි පිහිටි සිය කොන්සල් ජනරාල් කාර්යාලය වසා දමන ලෙස රුසියාව ජර්මනියට නියෝග කර තිබෙනවා.

රුසියානු විදේශ අමාත්‍යාංශය පැවසුවේ සැප්තැම්බර් 18 වන දිනට පෙර ජර්මානු කොන්සල් කාර්යාලයේ මෙහෙයුම් නතර කළ යුතු බවත්, සියලුම සේවකයින් එම දිනය වන විට රුසියාවෙන් පිටව යා යුතු බවයි.
.
බොන් හි රුසියානු කොන්සල් කාර්යාලය සහ බර්ලිනයේ රුසියානු හවුස් සංස්කෘතික මධ්‍යස්ථානය වසා දැමීමට ජර්මනිය ගත් තීරණයට පළිගැනීමක් ලෙස මෙම පියවර ගෙන තිබෙනවා.

අගෝස්තු 04 වන දින ලයිප්සිග්/හැලේ ගුවන්තොටුපළේ ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කිරීමට රුසියාව වගකිව යුතු බවට චෝදනා කිරීමෙන් පසු ජර්මනිය එම පියවර නිවේදනය කළා.

ගුවන්තොටුපළේ යුක්රේන ගුවන් යානයක් අසල පුපුරණ ද්‍රව්‍ය පිරවූ ඩ්‍රෝන යානයක් සොයා ගන්නා ලද අතර පසුව එය නිෂ්ක්‍රීය කරනු ලැබුවා.

රුසියාව ඊට සම්බන්ධ වීම ප්‍රතික්ෂේප කර ඇති අතර ජර්මනියේ චෝදනා ප්‍රතික්ෂේප කර තිබෙනවා.

රුසියාව, ජර්මනියේ ගොතේ-ඉන්ස්ටිටියුට් සංස්කෘතික මධ්‍යස්ථානවලට ද මෙහෙයුම් නතර කරන ලෙස නියෝග කර ඇති අතර, ඔවුන්ගේ කාර්ය මණ්ඩලය සැප්තැම්බර් 13 වන විට රුසියාවෙන් පිටව යා යුතු වනවා.

මේ අතර ජර්මනිය, මොස්කව්හි තීරණය විවේචනය කරමින්, එහි ශාන්ත පීටර්ස්බර්ග් කොන්සල් කාර්යාලය වසා දැමීම “කනගාටුදායක වැරැද්දක්” ලෙස විස්තර කළ අතර එය ඵලදායී සබඳතාවලට නැවත පැමිණීම වඩාත් දුෂ්කර කරනු ඇති බවයි පැවසුවේ.