කටුනායක සහ ජකර්තා අතර ශ්‍රීලන්කන් ගුවන්ගමන් අවලංගු කෙරේ

කොළඹ, කටුනායක සහ ඉන්දුනීසියාවේ ජකර්තා නුවර අතර අද (07) දිනයේ ක්‍රියාත්මක කිරීමට තිබූ ශ්‍රීලන්කන් ගුවන්ගමන් වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ, ඉන්දුනීසියාවේ ‘අනක් ක්‍රකටාවූ’ ගිනිකන්ද සක්‍රීය වීමත් සමඟ ගුවන් ගමන්වලට බාධා එල්ලවීම හේතුවෙන්.

ශ්‍රීලන්කන් ගුවන් සේවය නිවේදනය කළේ මේ අනුව කොළඹ සිට ජකර්තා දක්වා අද දිනයේ ගමන් කිරීමට නියමිතව තිබූ UL 364 ගුවන්යානය සහ ජකර්තා සිට කොළඹ දක්වා පැමිණීමට තිබූ UL 365 ගුවන්යානය මෙලෙස අවලංගු කළ බවයි.

මේ අතර ඉන්දුනීසියානු සිවිල් ගුවන් සේවා බලධාරීන් විසින් ජකර්තාහි සුකර්නෝ-හත්තා ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඇතුළු ගුවන්තොටුපොළ කිහිපයක මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවා ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ශ්‍රී ලංකාව දෙසට දිවෙන බටහිර ගුවන් කොරිඩෝව හරහා සිදුකරන ගුවන් ගමන් සඳහා ද සීමා පනවා තිබෙනවා.