රුපියල් හැත්තෑ හත් ලක්ෂ හතලිස් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ ඔස්සේ පිටකර ගෙන යාමට තැත් කළ, විදේශීය ගුවන් මගීන් දෙදෙනෙක් අද (28) දින උදෑසන ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොවුන් දෙදෙනා අවුරුදු 30 සහ 35 වයස් වල පසුවන චීන ජාතික ව්‍යාපාරික කාන්තාවන් බවයි පොලිසිය සඳහන් කළේ.
සැකකරුවන් විසින් මෙම දුම්වැටි තොගය චීනයෙන් මිළදී ගෙන, මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර වෙත පැමිණ, එතැන් සිට මැලේසියානු ගුවන් සේවයේ එම්.එච්.- 497 දරන ගුවන් යානයෙන් අද උදෑසන 10.10 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
එහිදී ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු 04 ක් තුළ, චීනයේ නිෂ්පාදිත දුම්වැටි 51,600 ක් අඩංගු දුම්වැටි කාටූන් 258 ක් සගවා ගෙන ගෙනවිත් තිබුණා.
කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මොවුන් දෙදෙනා අත්අඩංගුවේ තබා ගෙන මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් පවතිනවා.













